29 Sept 2007

රන්දුනුගේ ඇන්ඩාගේ මේස් දෙක ගැන අහලා මට හිනා, අපි දෙන්නාට දෙන්නා රසිකයෝ වෙලා වගේ.
අද මං පෙරදිගට ලියපු ආදර සින්දුවකට ගෑණු ලමයෙක් කැමතියි කිව්වා. ඒක වැඩියෙන්ම පෙනුනේ ඇස් දෙකින්. මට සතුටක් දැනුණේ නිර්මාණයක් අගය වීම මත.

අද කෙනෙක් මගෙන් ඇහුවා ඇයි සිංදු ලියන්නේ, ලියන්න තාක්‍ෂණය ගැන කියලා.
ඒක ලියලා ඉවර කරන්න පුලුවන්ද ?
සිංදුවක් හැදෙන්නේ සංගීතයක් ඇහුනම.
ඊයේ ඇහුනේ ලයනල් රිචීගේ "Hello"
ඉතින් මම පාසල් කාලෙට ගියා, සිහිවුනා ලියවුනා..
තාක්‍ෂණය ඒ වගේද ?

අන්තර්ජාලයේ ගීත නිර්මාණකරනයට මා යොමු උනේ දුක්ගන්නාරාළගේ ඇසුර නිසා.
හිප්පොප් සිංදු ලියන දුක්ගන්නාරාළ අහන්නේ කියන්නේ කපුගේ සහ අමරදේව. දවසක පැල නැති තමා ප්‍රියතම ගයන ගීතය. රාළ ටිකක් ....වාම ගයන එයාම ලියූ එකම ගීතය "මම සිංහයාට බයයි නංගියේ" . හිතුමතේ, නින්ද නොයන හැන්දෑවේ ආසා ගීත. ඒවා ගයන්නේ නෑ. ඇයි රාළට රැප් බෑනේ ..

25 Sept 2007

එක්තරා සත්‍ය කතාවකින් කොටසක්..

අවුරුදු ගණනක්
හිතලා කතා
නොකරපු ලොක්කෙක්
සහ
කතා නැතිව
ආව ගිය පුංචි මං
හිටි ගමන් වේය
ලොක්කෙක්!

ඕ එන්න
ඕ එන්න
ප්‍රීතිවන්න මා හා

කවුරුද ඕනේ
කොහේද ඕනේ
කොහොමද ඕනේ
කවදද ඕනේ

මේං වෙනසක්!
ඇත්තටද ?
බොරුවටද ?
ඇත්තටම බොරුවද ?
බොරුවට ඇත්තමද ?

එක්තරා සත්‍ය කතාවකින් කොටසක්..

21 Sept 2007

කවි ගීත ලියන්න සමහරවිට දින ගණන් වෙහෙසෙන්න වෙනවා. ඒත් සමහර ගී ලියන්න යන්නේ මිනිත්තු ගණනයි. ඒ ජීවිත අත්දැකීමක් කවියකට මුසු උනාම.

කාගේ උනත් හිතට දැනෙන අත්දැකීමක් නිර්මාණ කරුවෙකුට ප්‍රස්තූතයක්... ඊට මනංකල්පිතයකුත්එකතු කරගත්තාම නිර්මාණයක් වෙනවා ..

මේ අත්දැකීමට හා ගීතයට හරියටම දැන් මිනිත්තු 10 ක් වත් නැහැ..

හිතේ දුකට ලියවෙන කවි
උඹට කියන්නේ කෝමා
දුරු රටකට උඹ යනකොට
බලන් ඉඳින්නේ කෝමා

සඳ එනකොට පුර පෝදා
පන්සල් යන්නේ කෝමා
නැගිටිනකොට හිමිදිරියේ
උඹව දකින්නේ කෝමා

එදා දැනුණු ලමැද සුවේ
ආයේ විඳින්නේ කෝමා
ඇසේ නැගෙන කඳුලු බිංදු
පෙන්නන්නේ මං කෝමා

නිරංජන් මීගම්මන

20 Sept 2007

කාලය කල වෙනසක අරුමය

දශකයකටත් ඉහත CSSL සම්මන්ත්‍රණයක
සැඳෑ සාදයකට ගියා,

පුංචි සංවාදයකදී සිංහල භාෂාව පරිගණකවල යෙදවීමේ වැදගත්කම කීම දැඩි සමච්චලයට ලක්වුණා ..
ලැජ්ජාවට කථා නැතිවම ආවා ..
ඒත් දිගටම සිංහල කෙරුණා ..
ආයේ මං සැඳෑ සාද නං ගියේ නෑ...

e India 2007 දී I4D සම්මානය ලද සිංහල බසින් කළ ශිල්ප සයුර CSSL 2007 සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කළේ ඔවුන්ගේ ආරාධනයෙන්.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මා ගියේ බසයෙන්, පොල්කටු බොත්තම් අල්ලලා නිලූ නංගී අතින් මහල පේන්ට් කරපු අමුරෙදි කමිසය තමා ශිල්ප සයුර නිල ඇඳුම.

ඔබරෝයි එකට දැං කියන්නේ සිනමන් ග්‍රෑන්ඩ්
කවුද දන්නේ.. නගරය මිස් වෙලා

ෂාඃ!
මේක පුංචි සුර ලෝකයක්!

මලා!
අනිත් ඔක්කොම ටයි කෝට්!
ෂිඃ!
තාත්තගේ පරණ කෝට් එකවත් දාගන ආවනම්?

අලුත් මුහුණු හුඟක් !
පටන් ගත්තේ හිමිහිට
ටිකක් චකිතයෙන්!
ටිකක් වෙලා ගියා!
කට්ටිය සාවධානව බලා සිටියා!
වැඩේ නෑගලා යනවා!
ඒ පාර ඔන්න ආඩම්බරයි!

වෑඩේ ඉවර උනා..
සහානි ඇවිත් හොඳයි කිව්වා!
සැඳෑ සාදයට ආරාධනා ලැබුනා..
අරගොල්ල නෑහැ වගේ!
යංතං ලේ ටිකක් ඉනුවා..
ආ ... ආවද කියලා ඇහුවනං!

වෑඩිම ප්‍රතිචාර ආවේ එතකොට..
ශිල්ප සයුර ඔවුන් ඉතා අගය කළා ...
වැඩි දෙනෙක් කොළඹ නොවේ වගේ !

මට මහා.සමරනායකයන් මතක් උනා
හිටියනං සංතෝස වෙයි ..
උන්නාන්සේ කොහේ හිටියත් පිං වේවා!
යුනිකෝඩ් දියුණු කලාට!

මෙන්න බොලේ උප සභාපති ප්‍රසන්න
කමිටුවේ එකට වැඩකරපු කෙනෙක්
තවත් හිතවතුන් හිටියා
අපගේ සහය ඔවුන්ටත්
ලබා දෙන්නට කියා කීවා.
මටත් පුදුමයි.. එත් ඇත්තයි
ගමට සහ සිංහල බසට CSSL හි තැනක්

කාලය මැවූ වෙනසක අරුමේ!
CSSL අළුත් ගමණක් යයි වගේ

19 Sept 2007

කියවීම යන ක්‍රියාව

කියවීම යන ක්‍රියාව තුල අවබෝධ කරගැනීම නම් උප ක්‍රියාවද, රස වින්දනය යන පසු ක්‍රියාවද , විමසුමට භාජනය කිරීම නම් අවසාන ක්‍රියාවද වේ.

රූපවාහිනියේ මේ තුනම නිවේදිකාව විසින් කරන නිසා අපට කරන්නට දෙයක් නැතිව බලා ඉඳිමු.

~රූපවාහිනී නිවේදිකාවට ල‍ියු කවිය.
නුඹ කියවයි
පොතක් නැතිව

නව වේග පන්දු යවන්නාට දුන් උපදෙස

වරෙන් දුවගන අක්තාර් වගේ
දාපන් පන්දුව මාලිංග වගේ
ගනිං විකට් එක අසීෆ් වගේ
එපා පාගන්නට ඉරින් එහා
එපා යවන්නට ඉරි දෙකෙන් එහා
දාපං හරියට ලෙන්ත්
තියපං බොලේ ලයින්
කපපන් බෝලේ ඇතුලෙන්
රැකපං බෝලේ සීමාවේ
හිටපන් ඉඳගන අව්වේ
එනකං එනකං තේරුම් කමිටුව
මේ පෑත්තේ

"කෝ මේ හිටපු බෝලර්"

18 Sept 2007

ණ, න, ළ, ල

දණ ලඟ සිංදු කියන
මළ් පැණි රසට නොයන
මළෙන් නූපන් මදුරියේ
තණ අග වසාලා
තව ගීයක් කියපන්
උරණ වෙන්නේ නෑ මං
ලේ බිංදුවක් හෙටටත්
ඉතිරි කරාපං

මේ කවියේ ණ, ළ ඉවත් කර න, ල දැමූ විට අදහස වෙනස් වෙන හැටි කියන්න

දුක්ගන්නාරාළගේ බලපෑම

මාගේ නිර්මාණවලට දුක්ගන්නාරාළගේ බලපෑම

දුකා කියා හිතවත්කමට කතාකළත් රාළ සාහිත්‍යයේ ඔහු හැඳින්වෙන නමයි. වසන්ත දුක්ගන්නාරාළගේ කොන්දේසි විරහිත රසිකයකු වන මා ඔහුගේ ගී පොතේ ආ කෙටි කවියක් වූ

"කෙටි දුර ධාවන ශූරියට ලියූ කවිය"
ඔබ දුවන්නේ
කෙටි දුරයි

එය කියවා මා තුෂ්නිම්භූත වූයේ එය කෙටි බව හා අරුත් රැසක් දැකීමෙනි.
මාතෘකාවට වඩා කවිය කොටය. අරුත් බරය.

මේ අනුව රාළ සම්ප්‍රදාය අත්හදා බලන්නට මම ද සිතුවෙමි.
මේ මා ලියූ රාළ පවා අගය කළ කවියක්.

~ අන්ධයා තම බිරිඳට ලියූ කවිය
ඔයා
හරිම
ලස්සනයි

මේ එවැනි කවි කීපයක්
~කලාකරුවාගේ බිරිඳගේ පෙම් කවිය
ඔයා
අද
කලිං

~කෙටිකතා කරුවාගේ සමුගැනීම
යන්නං
මචං

~කලිසම (නොවේ)
පැද්දි පැද්දි වේලියන්
ඈ හමුවන්න තියනවා

~කැමරාකරුවා කැමරාවට ලියු කවිය
උඹට පේන්නේ
පිට විතරයි

~කොරාගේ බිරිඳ ලියු පෙම් කවිය
ඔයා
හරි
කෙලින්
මිනිහෙක්

~අටවකදා හඳට ලියූ කවිය
ඇයි මේ
කෙට්ටු වෙලා