8 Aug 2016

2020 දී ශ්‍රී ලංකාව Progammers Paradise වීමට ගත යුතු මග කුමක්ද?


ICT විෂය ගැන මහත් උනන්දුවක් ඇතිවූ පසුගිය දශයකයේදී ලංකාව පුරා නැණසල, SEMP, e Society, e Village වැනි වැඩ සටහන් තුලින් ලබාදුන් පරිගණක අබලන් වී ඇතත් රට තුල තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාවය ඉහළ නැංවූ බව සත්‍යයකි.  ඒවා තවමත් ක්‍රියාත්මක වීම සතුටක්.

පසුගිය වසර 2ක තුල රට පුරා පාසල් 1000ක පිහිටවූ පරිගණක 64 ක ජාලයක් සහිත තාක්‍ෂණ විද්‍යාගාර ඉතා වැදගත් යටිතල පහසුකමද, මෑතකදී උසස් පෙළ තාක්‍ෂණය විෂය ධාරාව හඳුන්වා දීම යන කරුණුද සමස්ථයක් ලෙස සලකා බලා පාසල් වල ක්‍රම ලේඛන හැකියාවන් සංවර්ධනය කිරීම කළ යුතු බව මගේ අදහසයි.

මෙහිදී අධ්‍යාපනවේදීන් මුහුණ දෙන ප්‍රධානම ගැටළුව වන්නේ සැම දෙනාමට එක ක්‍රම ලේඛන භාෂාවක් නිර්දේෂ කිරීමයි. පාසැල් 5000 ක පමණ තිබෙන විවිධත්වයන් සලකා බලා අවමයක් නිර්දේශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී විය හැකි මුත් ඉන් රටක් වශයෙන් අපට ලබාගත හැකි ප්‍රතිඵල හීන වේ.

දැනට උසස් පෙළට Python භාෂාවද සාමාන්‍ය පෙළට Pascal භාෂාවද උගන්වන අතර. සාමාන්‍ය පෙළ Pascal ඉගැන්වීම ගැන විවාදයක් ඇතිවී ඇත. ඒ සඳහා විවිධ විද්වතුන්, ගුරුවරුන් හා සිසුන් අදහස් දක්වා ඇති අතර පවත්නා සංවාදය අනුව යෝජනා වී ඇති Basic, Pascal, c, python, java, c++ , php, ruby , perl ආදිය යෝජනා වී ඇති අතර Pascal, c, Python කෙරෙහි වැඩි අවධානයක් යොමුවී ඇත.

සමන් බණ්ඩාර ගුරු මහත්මා ආරම්භ කල සංවාදය
https://m.facebook.com/story.php?story_fbid=10204887710553089&id=1849640335&ref=m_notif&notif_t=like

මේ පිළිබඳව ඉදිරි 15 දින online සංවාදයක්ද පැවැත්වේ.
https://www.facebook.com/events/1263572310344026/


මේ තීරණය සඳහා NIE නිර්දේශයන් විවරණය කර බලමු.

NIE ICT syllabus objectives :
Improve skills required for the development of ICT based solutions for real world problems.

අවශ්‍යතාවය සත්‍ය ලෝකයේ ප්‍රශ්න විසඳීමේ හැකියාව ලබා ගැනීමයි. සත්‍ය ලෝකය නම් අද සහ හෙටයි.

NIE තව දුරටත් නිර්දේශ කරන්නේ...
The syllabus of Grade 11 has been thoroughly revised especially in the area of programming. The dependence on a software tool has been removed and greater emphasis is placed on logical thinking which is a transferable skill to programming in any computer language. Certain subject areas have also been reorganized to meet current developments in the world of ICT.

ක්‍රමලේඛන භාෂාවක් මත රඳා නොපවතින, තාර්කික චින්තනය ගොඩනගන එමෙන්ම වර්ථමානයේ තොරතුරු තාක්‍ෂණ ලෝකයේ සංවර්ධනයන්ට හුවමාරු කල හැකි වීම අප උගන්වන ක්‍රම ලේඛන භාෂාවේ ලක්‍ෂණ විය යුතුය.

තවද National Goals ලෙස NIE සඳහන් කරන්නේ

6. Human resource development by educating for productive work that enhances the quality of life of the individual and the nation contributing to the economic development of Sri Lanka.

ආර්ථික වර්ධනය ප්‍රධාන කොටගත් පරිගණක ක්‍රම ලේඛන භාෂාවක් තමන්ට රැකියාවක් ලබාගැනීමටත්, තමන්ගේ හා රටේ ආර්ථික වර්ධනයටත් දායක වනු ඇත. ඒ සඳහා පවත්නා තොරතුරු තාක්‍ෂණ ආර්ථිකයේ භාවිතා වන භාෂාවක් තෝරාගැනීම වාසි දායකය.

NIE නිර්දේශිත Competencies
IT proficiency: Computer literacy and the use of information and communication technologies (ICT) in learning, in the work environment and in personal life.

පවත්නා පෞද්ගලික හා වැඩ කරන පරිසර වල යොදාගත හැකිවීමට හැකි වර්ථමානයේ භාවිතා වන ක්‍රමලේඛන භාෂාවක් විය යුතුය.

NIE නිර්දේෂිත Competencies
4. Competencies relating to preparation for the World of Work.
Employment related skills to maximize their potential and to enhance their capacity
 To contribute to economic development
 To discover their vocational interests and aptitudes
ආර්ථික සංවර්ධනයට දායක වීමටත් සහ තම අනාගත වෘත්තීන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය හැකියා, විභවය සහ ධාරිතා උච්චස්ථානයට ගෙන ඒමට අවශ්‍ය නිපුණතා ලබාගැනීම වැදගත්ය.

මෙම නිර්දේශ අනුව පාසැල් තුල පරිගණක භාෂා තාර්කික චින්තනය, ආර්ථික සංවර්ධනය, රැකියා ඉලක්ක කිරීම, පවත්නා වැඩපලට යොදාගැනීම, කාලීන හා යාවත් වීම ක්‍රමලේඛන භාෂාව තෝරා ගැනීමේ මූලික පදනමයි.

NIE ක්‍රම ලේඛන භාෂාවක් නියම කර නොමැති බැවින් එය තෝරාගැනීමේ අයිතිය ලැබිය යුත්තේ සිසුවාට බව මගේ අදහසයි. නමුත් ප්‍රායෝගික ගැටළු නිසා එක භාෂාවක් තුල අප කොටුවන අයුරක් පෙනේ. ඒ අතරම සමහර සිසුන් ගැටළු අභිබවා උසස් ක්‍රමලේඛනයෙන් ප්‍රතිඵල ලබා ඇති බවද පෙනේ.

මේ අනුව රටේ සහ සිසුන්ගේ අනාගතය දෙස බලා පහත යෝජනා ඉදිරිපත්ක රමි.

1. පරිගණක ක්‍රම ලේඛනය ICT විෂය තුල මෙන්ම පරිභාහිර ක්‍රියාකාරකමක් ‍ලෙස (බාලදක්‍ෂ වැනි) ඉතා පහළ ශ්‍රේණිවල සිට හඳුන්වාදීම.

2. තමන්ගේ කැමැත්ත මත නිර්දේශිත ක්‍රම ලේඛන භාෂාවන් ගනණකින් එකක් තෝරාගන ඉගැන්වීමේ අයිතිය ගුරුවරයාටද, කැමති භාෂාවක් ඉගනීමේ අයිතිය සිසුවාටද ලබාදීම.

3. නිර්දේශිත ක්‍රම ලේඛන භාෂාවන් කුමකින් හෝ විභාගයේදී පිළිතුරු දීමට හැකි ලෙස ප්‍රශ්න පත්‍ර සැකසීම.

4. විනෝදාත්මකව ක්‍රම ලේඛනය ඉගැන්වීමේ වැඩ පිළිවෙලක් සැකසීම.

5. ක්‍රම ලේඛනය , ගණිතය , විද්‍යාව සහ චිත්‍ර ආදී විෂයන් හා අනුබද්ධ කරන ආකාරයේ ක්‍රියාකාරකම් නිර්මාණය හා බෙදාහැරීම.

6. පළාත්, දිස්ත්‍රික්ක, කොට්ඨාශ මට්ටමෙන් සුවිශේෂී ගුරුවරුන් හා දක්‍ෂ සිසුන් තෝරා ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන පුහුණුවක් ලබාදීම සහ ඔවුන්ගේ සහය පාසල් වලට ලබාදීම.

7. විවිධ භාෂා ක්‍රමලේඛනය ඉගනීමට පත පොත හා මෘදුකාංග බහුල කිරීම හා ඒවා නිමැවීමට වැඩ පිළිවෙලක් ආරම්භය.

8. අධ්‍යාපන අමාත්‍යංශයට පරිභාහිර තාක්‍ෂණ හා සමාජ ආයතන, වෘත්තිකයන්ට මේ සඳහා සම්බන්ධ වීමට  හැකි ජාතික ක්‍රම ලේඛන සංවර්ධන Multi Stake Holder වැඩසටහනක් අැරඹීම.

9. කොට්ඨාශ, දිස්ත්‍රික්, පළාත් හා ජාතික වශයෙන්ගු රුවරුන් සඳහා ක්‍රම ලේඛන තරඟාවලියක් ඇරඹීම.

10. පාසැල්, කොට්ඨාශ, දිස්ත්‍රික්, පළාත් හා ජාතික ගුරුවරුන් සඳහා ක්‍රම ලේඛන තරඟාවලියක් ඇරඹීම.

වසර 2020 දී ශ්‍රී ලංකාව ක්‍රමලේඛන කරුවන්ගේ පාරාදීසයක් (Programmers Paradise) වීමෙන් රැකියා විරහිත භාවයට පිළියමක් සේම විශාල ආර්ථික වර්ධනයක් හිමිකරගත හැකිවන අතර ලෝක පූජිත ඇපල් සමාගමේ නියමු ස්ටීව් ජොබ්ස් ගේ ප්‍රකාශයකින් මේ ලිපිය නිමා කරමි.

"මේ රටේ සෑම කෙනෙකුම පරිගණක ක්‍රමලේඛනය ඉගෙන ගත යුතු වන්නේ එය ඔවුනට සිතන්නට පුරුදු කරන නිසාවෙනි."

“Everybody in this country should learn to program a computer, because it teaches you how to think”


Youth at Lahugala Nenasala Learn to use computers. (2010)
Source : www.shilpasayura.org