බොහෝ කඳුකර නගර බිහිවී ඇත්තේ මිටියාවත් තුලය. ඒ අතරම ගංගා ආශ්‍රිතවය. උදාහරණයක් ලෙස මහනුවර නගරය ගනිමූ. එය අධික වර්ෂාව පවතින අවස්ථාවලදී ආරක්ෂිතද?
මහනුවර නගරය පිහිටා ඇත්තේ හන්තාන, උඩවත්ත කැලේ හා බහිරවකන්ද යන බෑවුම් සහිත කඳුවැටි වලින් වට වූ ස්වාභාවික බඳුනක් වැනි ස්ථානයකය.
2025 වසරේ ඇති වූ දිත්වා (Dithwa) සුළි කුණාටුව පැය 96 ක් තුල පැවති මහනුවරට මිලිමීටර් 400කට ආසන්න වර්ෂාපතනයක් ලැබුණි. කඳු වළල්ලකින් වට වූ, ඝන ලෙස ඉදිකිරීම් සිදු කර ඇති නගරයකට මෙය අතිවිශාල වර්ෂාපතනයකි. නගරයේ මධ්‍යම ඇළ සහ කාණු පද්ධතිය මෙවැනි දැවැන්ත වර්ෂාපතනයකට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර නොමැත.
මහනුවර නගරයේ ජලාපවහන පද්ධතියේ ප්‍රධානතම දුර්වලතාවක් (Single point of failure) ලෙස මධ්‍යම ඇළ හැඳින්විය හැකිය. එහි ඇතිවන අවහිරතා හේතුවෙන් නගරයේ සමස්ත ජලාපවහන පද්ධතිය අඩාල වීම, නායයාම් අවදානම ඉහළ යාම සහ ප්‍රවාහන පද්ධතිය ඇණ හිටීම වැනි දාම අවදානම් රැසක් නිර්මාණය වේ.
මෙම බෑවුම් අධික ලෙස ජලයෙන් සංතෘප්ත වූ විට, එම අවදානම සාමාන්‍ය ගංවතුර තත්ත්වයකින් ඔබ්බට ගොස් නායයෑම් සහ මඩ ප්‍රවාහයන් දක්වා වර්ධනය වේ. ගලා එන සුන්බුන් හේතුවෙන් කාණු පද්ධති අවහිර වී, නගරයේ පහත් බිම් ප්‍රදේශ ක්ෂණිකව ජලයෙන් යට විය හැකිය. මාර්ග, දුම්රිය මාර්ග සහ පිවිසුම් මාර්ග වැසී යාමට හෝ කැඩී යාමට ඉඩ ඇති අතර රෝහල් සහ පොදු පහසුකම් හුදකලා වීමේ අවදානමක් ද පවතී. මෙය කල්තියා ජනතාව ඉවත් කිරීම් (evacuation) අවශ්‍ය වන ඉහළ බලපෑමක් සහිත ආපදා තත්ත්වයකි.
මෙවැනි සීමාවන් ඉක්මවා යන අවස්ථාවලදී යටිතල පහසුකම්, ප්‍රවාහනය, ව්‍යාපාරික කටයුතු, හෝටල් ඇතුලු සංචාරක ක්ෂේත්‍රය සහ පොදු ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වීමේ තත්ත්වයකට පත්වේ. එබැවින් හදිසි ප්‍රතිචාර දැක්වීමට පමණක් සීමා නොවී, පූර්ව සූදානම, පූර්ව අනතුරු ඇඟවීම් සහ සම්බන්ධීකරණය කරන ලද ආපදා කළමනාකරණ සේවා මෙන්ම අවතැන් වූවන්, තුවාල ලැබූවන්, මූලික අවශ්‍යතා සහ මහජන සෞඛ්‍යය පිළිබඳ සැලසුම් ද මෙයට ඇතුළත් විය යුතුය.
මේ සඳහා බහුවිධ විසඳුම් සහ පාර්ශවකරුවන් රැසකගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. එමනිසා වහාම ජාතික අවධානය යොමු විය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් මෙහිදී හඳුනාගත හැකිය:
1. සංකීර්ණ ආපදා තත්ත්වයන් කල්තියා හඳුනාගත හැකි AI (කෘතිම බුද්ධිය) පාදක කරගත් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති භාවිතය.
2. අධික වර්ෂා ජලය කළමනාකරණය කිරීම සහ බැස යාමට සැලැස්වීම සඳහා ආපදාවකට පෙර සිදු කරන භූ-ඉංජිනේරු (Geo-engineering) ක්‍රියාමාර්ග.
මෙම ඉංජිනේරු සහ AI පද්ධති එක්ව ක්‍රියා කිරීමෙන් අවදානම් කාලගුණික සිදුවීම් පුරෝකථනය කිරීම පමණක් නොව, අවදානම් තත්ත්වයන් වර්ධනය වන ආකාරය සහ ආරක්ෂිත සීමාවන් ඉක්මවා යන ආකාරය නිරන්තරයෙන් නිරීක්ෂණය කළ හැකිය. එමඟින් ආපදා සීමාවන් ඉක්මවා යාමට පෙර කාලෝචිත ලෙස මැදිහත් වීමට අවස්ථාව සැලසේ.
මහනුවර මධ්‍යම ඇළ අවදානම කළමනාකරණය :
මේ සඳහා නවීන තාක්ෂණය, ඉංජිනේරු විසඳුම් හා මහජන චර්යා වෙනසක් එක් කළ විට එහි කාර්යක්ෂමතාව බෙහෙවින් ඉහළ යයි. විශේෂයෙන්ම කඳුකර නගරයකට ආවේණික වූ බෑවුම් සහිත ස්වභාවය නිසා, ඇළ මාර්ගය සහ අවට බෑවුම් වල ස්ථායීතාව අතර සෘජු සම්බන්ධයක් පවතී.
නවීන තාක්ෂණික විසඳුම් මඟින් එම අවදානම පාලනය කිරීමට
- බෑවුම් ස්ථායී කරණය (Slope Stabilization) සඳහා ඉවූරු වල. පස ශක්තිමත් කිරීම කල යූතුය.
- සිදූරු ජලාපවහන නල (Horizontal Drains) මගින් බෑවුම් සහිත ප්‍රදේශවල පස තුළ ඇති අතිරික්ත ජලය ඉවත් කිරීම කළ හැක.
- භු-දැල් යොදා පස සෝදායාම වැළැක්වීමට ආරක්ෂිත ආවරණ යෙදීම ද, නාය යාම් වලකන සැවැන්දරා, උණ වැනි ශාක රෝපනය කිරීමද අවශ්‍යය.
- මධ්‍යම ඇලේ තනි බිඳ වැටීම වැලැක්වීමට එයට එන අතිරික්ත ජලය වෙනත් දෙසක ට හරවා යැවීමට නව නාලිකා පද්ධතියක් ඉදි කිරීම ඉතාම වැදගත්ය. ඒ සඳහා බහිරවකන්ද, උඩවත්ත කැලේ හා හන්තාන කඳු ඔස්සේ එන ජලය මධ්‍යම ඇලට ඇතුළුවීමට පෙර මහවැලි ගඟට හැරවිය යුතුවේ.
- AI භාවිතයෙන් වර්ෂාව හා මධ්‍යම ඇලේ ජල මට්ටම හා ගලා යාම පුරෝකතනය කර ජල ගැලීම් සිදුවීමට පැය කිහිපයකට පෙර අනතුරු ඇඟවීම් නිකුත් කිරීම අත්‍යාවශ්‍ය වේ.
චන්ද්‍රා ගමගේ (භු-ඉංජිනේරු විශේෂඥ) නිරංජන් මීගම්මන (AI විශේෂඥ)
Climate Tech Foundation
#shilpasayura #climatetech #kandy



