17 Mar 2008

අවුරුදු කුමාරි





දඩස් දඩස් ගාලා පාන්දර කෝච්චිය ගියේ පපුව උඩින් වගේ, එලාම් ඕනේ නෑ ඒකට තමා හැමෝම ඇහැරෙන්නේ. සුමාලි ඇස් ඇරියා බාගෙට, ආයේ වහගත්තා, විනාඩියක් හිටියා, මොහොතකින් ඇරියා, දෙපාරක් තුන්පාරක් එහෙම කරනකොට කොටස් වශයෙන් සුමාලිට ඇහැරුනා. පොරවාගත් රෙද්ද පහලටම ගිහින්, පුරුද්දට පෙරෙව්වට රස්නේ නිසා කකුල් හරිය තමා හැමදාම වහගන්නේ, මදුරුවෝ කනවට.සුමාලි ඇඳෙන් බැස්සට ලයිට් දැම්මේ නෑ,

හඳ එලිය තාම ජනේලෙන් එළිය කරනවා, කුමාරි අක්කා තාම ගොරව ගොරවා නිදි, එහා ඇඳේ දෙන්නත් එහෙමයි. උන්නං ඔලුවටම පොරවාගෙන, රස්නේ ගාණක් වත් නෑ, මදුරුවන් කාලා කැතවෙනවට වෙන්නැති.

ඇඳන් අතර තිබ්බ පුංචි තීරුව දිගේ ඇවිදලා සුමාලි කාමරේ දොර ලඟට ආවා. වතුර ජෝගුව අරගන දොර ඇරියා. හඳ එළිය කාමරේට දෝර ගලාගෙන ආවා. හීන් හුළඟට දැනුනු හීතලට සුමාලි ඇඹරුනා, ඇත්තටම හතර දෙනෙක් ඉන්න කාමර කෑල්ලට වැඩිය එලිය කොච්චර හොඳද? ටැප් එක ඇරපු සුමාලි ජෝගුවට වතුර පුරවාගත්ත්ත, ටැප් එකෙන්ම අත තියලා වතුර බීලා කටහෝදලා මිදුලට කෙල ගැහුවා.




එහා ගෙදර උයන සුවඳක් ආවා, සුමාලිට ගම මතක් උනා. අම්මා මේ වෙලාවට නැගිටලා උයනවා ඇති නංගිටයි මල්ලිටයි ඉස්කෝලේ ගෙනියන්න. තාත්තා කොහොමත් නිදි නෑනේ. සීයා ඉස්සරහ පිලේ බුලත් විටක් කොටනවා. මල්ලි වංගෙඩිය උඩ ඉඳගන, නංගි දොර ගාව, එයානම් පාඩම් කරනවා තේ හැදෙනකන්. පාඩම් කරනවා නෙමේ කරනවා කියලා අම්මට පෙන්නනවා, නැත්තම් බැනුම් නේ, ඒක නංගිට කියලා දුන්නේ සුමාලි. සුමාලි උසස් පෙළ කරලා ප්‍රතිඵල එනකන් ඉන්නේ. කැම්පස් නම් යැවෙන්නෑ, එකස්ටර්නල් තමා කරන්න හිතාගන ඉන්නේ සුමාලි.

හීටරේ පුංචි හින්දා දෙන්නට විතරයි සුමාලි වතුර තිබ්බේ, එයාටයි කුමාරි අක්කටයි. අර දෙන්නා වෙනම. තේ එක හැදීගන එනකොට කුමාරි අක්කත් ඇහැරිලා.
මෝනිං, කුමාරි අක්කා නින්දෙන්ම කිව්වා
මොනිං, ඔයාම සීනි දාගන්න මදිනං, සුමාලි තේ එක දෙන ගමන් කිව්වේ ආයේ පාරක් යන්න බැරි නිසා, හැමදාම කුමාරිට සීනි මදි,
කුමාරි ඇඳට නැගිටලා ඉඳගෙන, කකූල් දෙක වකුටු කරගත්තා, ඊට පස්සේ අම්මා හදලා දෙන තේ එක වගේ ඒක බිව්වා,
නංගි කවදද ගෙදර යන්නේ
පඩිදාට පහුවදා
පඩිදාට පහුවදා නිවාඩු නෑනේ
ඒ උනාට මම යනවා
ආපුවාම පඩි කපයි!
මම ආයේ එන්නේ නැනේ..
ඇයි බඳිනවද?
අක්කා කියන ඒවා, රිසලස් එනවා
ඉතිං!
මම ගෙදර නවතිනවා ක්ලාස් යන්න
අපරාදේ මම හදලා දුන්න රස්සාව
මම කිව්වනේ රිසලස් එනකන් කියලා
ඉතිං හවස යන්න පුලුවන්නේ
මට බඩු වගයක් ගන්න තියනවා
මං දන්නවා අවුරුදු කුමාරි වෙන්න නේද?
සුමාලි හිනාඋනා
ඊට පස්සේ අනිත් දෙන්නත් නැගිට්ටා, කාමරේ කලබල උනා, වට පිටාවෙත් සද්ද වැඩිඋනා, කපුටෝ කෑගහනවා
දෙන්නා ඈඳගෙන පාරට පැන්නා.
ෆැක්ටරියට අතේ දුර හොඳ ඒකයි
ඔයා අපරාදේ යන්නේ
ඇයි?
වැඩ හොඳයි කියලා සුපරවයිසර් කිව්වා
ඒ වුනාට තාම තනියම වැඩක් නෑනේ
ඔහොම තමා ඉස්සෙල්ලම නූල් කපන්න දෙන්නේ
ඊ ලඟට වාටි මහන්න ඊට පස්සේ බොත්තම්, කොලර්, අන්තිමේදී සම්පූර්ණ වැඩ,
මම තාම වාටිනේ
ඒක තමා සුපර් කිව්වේ
ඒ කොහොමද?
ඒයාලා දන්නවා වාටි මහනකෝට වැඩ හොඳද නරකද කියලා
හ්ම් .. මම අසා ගුරුවරියක් වෙන්න
දහම් පාසලේද බං
නෑ බාබර් සාප්පවක
දෙන්නම හයියෙන් හිනාඋනා
පාරේ කොල්ලොත් බැලුවා
දෙන්න හන්දියෙන් හැරුනා
අන්න අදත් ඉන්නවා,
අර හැමදාම ඉන්න කොල්ලා
එයා ඉන්නේ බස් එකටද නැත්තං අපි එනකන්ද?
ඌ බලන්නේ උඹ දිහා
නෑ අක්කා දිහා
මං දිහා බලනවානම් ඌ මෙලාකටත් මම දාගන
උඹ හිනාවෙයන් ඌට, ගොනා වගේ එයි පස්සෙන්
මට බෑ
මං දන්නවා අර ගමේ කොල්ලා ගැන නේද උඹේ හිත
සුමාලි ඇඹරුනා
මං දන්නවානේ උඹ රස්සාවට ආවෙත් එයා හින්දනේ


සුමාලිගේ හිත එක පාරටම ගමට ගියා. වැවෙන් නාලා සුමාලි කොණ්ඩය පැත්තකට දාගත්තා, ගවුම ටිකක් කොටයි, බාල්දිය එක අතක, අනිකේ සාලුව ගලින් ගලට අඩිය තිය තිය වැව් බැම්බට නැග්ගා. බැම්ම උඩ කුමාරයෙක් වගේ සුරංගයියා, බයිසිකලේ නවත්තගන බලාගෙන ඉන්නේ සුමාලි දිහා. නාලා එනකොට පහුගිය දවස් දෙක තුනේම මෙයා ආවා. මොනවා කියයිද දන්නෑ, සුමාලි අත මැදට කරගත්තා සාලුවෙන් ගවුමේ කොට වැහෙන්න.

හිච්චි මැණිකේ නංගී නාලා වගේ.
සුමාලිට නෑයෝ ඔක්කොම කියන්නේ හිච්චි මැණිකේ කියලා, සුමාලි කෑල්ල ගමට මොඩ් වැඩියි වගේ.
අයියා කොහෙද යන්නේ? සුමාලි එහෙම ඇහුවේ මෙයා අහුලන්නේ හොරගල් බව දැනගනමයි, ඒ වුනාට සුරංග අයියා එනවට සුමාලි කැමතියි.
නංගි අද නම් හරි ලස්සනයි!
සුමාලිට ඒ කථාව නම් බලපොරොත්තු උනේ නෑ, අම්මාවත් එහෙම කියලා නැ සුමාලිට. සුමාලිගේ ඇගේ ගිනි සැරයක් ගියා වගේ
තොල් වේලුනා, බාල්දිය බිම තිබ්බා, තාලෙකට කොණ්ඩේ අතින් පස්සට දාගන, ඔලුව පාත්කරගන සපරංගයියා දිහා බැලුවා
එයා තාම හිනා වෙනවා. සුමාලි තොල් පිට පෙරලුවා හිනා උනේ ටිකයි.

අයියාගේ කෝලම්
නෑ ඇත්තටම ඔයා ලස්සනයි
මං කියන්නේ බොරුනම් කන්නාඩියකින් බල‍න්න
නැත්තං මේ පාර අවුරුදු කුමාරි තරඟෙට ගිහින් බලන්න

සුමාලි ඒ පාර හිනාවෙලා ගෙදර ආවා. ඒ ආවේ අවුරුදු කුමාරි තරඟෙට යන්න හිතාගන. ගියපාර බයිසිකල් රේස් එකෙන් දින්නේ සුරංගයියා. සුමාලිලා පාරේ අයිනේ ඉඳලා කෑගැහුවා, වතුර ගැහුවා. සුමාලිට ගිය අවුරුද්දේ ටිවී එකේ අවුරුදු කුමාරි තරගේ සිහිවුනා

ගෙදර ආපු සුමාලි රෙදි වනන්නෙත් නැතිව කෙලින්ම දිව්වේ තාත්ත රැවුල කපන තැනට, වටපිට බලලා කැඩ්ච්ච කන්නාඩි කැල්ල ගත්ත සුමාලි එහෙට මෙහෙට හරවා මූණ, ලැම, නිතඹ , කොණ්ඩේ, පංච කල්‍යාණයම බැලුවා.
ටිකක් වෙලා ගියාම සුමාලිට පෙනුනේ අවුරුදු කුමාරිට ඇඳලා ඉන්න එයාවම. සුමාලිගේ හිතට විදුලි කොටනවා වගේ රූප එනවා
ඔන්න සුරංගයියා බයිස්කල් රේස් එක දිනලා , එයා අවුරුදු කුමාරි වෙලා , ටීවී එකෙනුත් ඇචිත්, පොටො ගහනවා, තෑගි දෙනවා, අන්තිමේදි තරුණි පත්තරේත් මුල් පිටුව සුමාලිගෙන් සැරසිලා
කඩාපන් ඕක හැඩ බලලා

අම්මා එහෙම කියනකොට සුමාලි ලැජ්ජාවෙන් ඇඹරිලා පිලිකන්නට දිව්වා, අම්මා බලාගෙන හිනා උනා වයස හරි එයා හිතන්නැති.
සුමාලිට තනිවම හිනා
අන්න අරූ උඹට හිනාවෙනවා
සුමාලි ආපහු පියවි ලෝකයට ආවා
ඇත්තමයි අර කොල්ලගේ කට කණේ
මං ඌට නෙවේ හිනා උනේ!
මටම හිනා ගියා ගමේ සිද්ධියක් මතක් වෙලා
ඒ උනාට මාසයක් ඔතන බලා ඉන්න ඒක ඇති
ඔයා දන්නවාද ඌ අර යතුර කරකවා කරකවා හිටියේ ඇයි කියලා?
නෑ!
ඌ ආවේ බයික් එකක හරි කාර් එකක හරි කියලා පෙන්නන්න
එහෙනම් බස් හොල්ට් එකේ ඉන්නේ
පෙට්රල් ගහගන්න වෙන්නැති,

කුමාරි අක්කා මහා හයියෙන් හිනා උනා, ආයෙමත් වට පිට මිනිස්සු බ‍ලනවා එයාට ගාණක් වත් නෑ. කුමරි සුමාලිගේ නැන්දගේ ලොකු දුව, එහා ගමේ හිටියේ, කොළඹ ගාමන්ට් එකකට ඇචිත් එයාට නගරේ හොඳට පුරුදුයි. දැන් අවුරුදු තුනක්, ප්‍රමෝෂන් ලැබි‍ලා හෙට අනිද්දම සුපර්වයිසර් කෙනෙක් වෙයි, එයා තමයි සුමාලිව ගාමන්ට් එකට ගත්තේ අත් උදව් කරන රස්සාවට. ඒ කියන්නේ ට්‍රේනිං

සුමාලි රස්සාවට ආවේ අවුරුදු කුමාරි තරඟෙට සල්ලි හොයාගන්න. මනමාලියෝ අන්දන බිංදු අක්කා හමුවෙන්න ගියාට පස්සේ තමා රස්සාවක් ඕනේ උනේ, එයා හිටපු අවුරුදු කුමාරියක්. අවුරුදු කුමාරි දිනන්න නම් මනමාලියෙකුට දාන මේකප් එකක් දාන්න ඕනේ, ලස්සන ඔසරියක් තමා, කර ටිකක් වැඩිපුර ඇරලා බඩ පේන පොඩි හැට්ටයක් අඳින්න ඕනේ, ඇඟට තදට ඔසරිය ඇරලා. අඩි උස සෙරෙප්පු දාලා තනි ඉරක තාලෙට ඇවිදින්න පුරුදු වෙන්න ඕනේ. ඔයා මේ බඩු ටික ගේන්න මම ඔයාව අන්දලා දෙන්නම්.

සුමාලිට අඩි උස සෙරෙප්පු කොහෙද? ඇඟලි වලින් ඇවිදින්න පුරුදු උනා එයා දෙකක් ගන්නකන්. දවසක් එයාට හම්බු උනා පරණ අඩි උස සපත්තු දෙකක්, ගෙදර කවුරුත් නැති වෙලාවක අම්මාගේ ඔසරිය ඇඳගන එයා අචුරුදු කුමාරි වෙන්න පුරුදු උනා, මල්ලියි නංගියි තමා නරඹන්නෝ, පස්සේ තමා සුමාලි දන්නේ, ඒ කතාව ගම පුරාම ගිගින්. මල්ලිගේ කට හොඳ නෑ.

ඊට පස්සේ සුමාලි කුමාරි අක්කත් එක්ක ගාමන්ට් එකේ වැඩට ආවා අවුරුදු කුමාරි වෙන්න ඕනේ බඩු ටිකට සල්ලි හොයා ගන්න. බිංදු අක්කටත් කීයක් හරි දෙන්න වෙයි, නැත්තන් එයා වෙන කෙනකුට අන්දයි. ඒ හින්දා සුමාලි ලියමක් දාලා බිංදු අක්කව බුක් කළා, කොල් කරලත් කිව්වා, එයාගේ ගාන 3000 යි. සුමාලිට ඕනෑවුනේ සුරංග අයියාට පේන්න අවුරුදු කුමාරි වෙන්නයි, එතකොට දෙන්නම දිනුම්, එදාට එයා මට ආදරෙයි කියයි, අම්මලත් කැමතිවෙයි, නෑදෑකමෙනුත් දුරින් මස්සිනා කෙනෙක්නේ සුමාලිට හිතුනා.

දවස ගෙවෙන්නේ හරි හිමිහිට, සුමාලි වැඩකරන ගමන් ඔරලෝසුව බැලුවා, හරියට තනට පඩි දෙන්න පටන් ගත්තා. සුමාලිට පඩි ලැබුනේ හතරට. හරිම සතුටයි, ජීවිතේ පලවෙන පඩිය. හතර හමාර වෙනකොට පාරට ආවා, කුමාරි අක්කා හමුඋනා, දෙන්නම ගියා ෂොපින්,

අම්මලාට තාත්තලාට බඩු ගන්නවාද?
මේ සල්ලි මදිවෙයිද දන්නෑ
ඉස්සෙල්ලා එහෙනම් උඹේ බඩු ටික ගනිමු, අපේ අවුරුදු කුමාරිනේ….

සුමාලිට ලැජ්ජා හිතුනා, ගමේ අයත් අවුරුදු කුමාරි කථාව දන්නවා, දැන් නම් තරඟෙට ගිහින් බෑ, මේ පාර ටීවී එකේත් ඒක යනවා
කඩෙන් කඩේට ගිය දෙන්නම අවුරුදු කුමාරි බඩු ගත්තා. බඩු මනමාලියෙකුටද කියලා කඩේ කොල්ලත් ඇහුවා. මල්ලිටයි නංගිටයි ටී ෂර්ට් , තාත්තට සරමයි, සීයට තුවායයි ඔන්න සල්ලි මදි උනා,

හරි වැඩේ සල්ලි මදි
කොච්චරක්ද ?
දෙසීයක්.
මං දෙන්නම්
බස් එකටත් මදි වෙයි
මම උඹට පන්සීයක් දෙන්නම් පස්සේ ගමු, දිනපුවාම සල්ලිත් හම්බු වෙනවා.
අනේ අක්කේ එපා
ගනින් ගනින් මට බොනස් ලැබුනා
අන්තිමේදී අම්මාට ගත්තෙත් පුංචි තුවායක්
දෙන්නා බොඩිමට ආවේ අතින් කටින් බඩු එල්ලාගන.
ඇඳ උඩ තියාගන බඩු තේරුවා.
ලස්සන රෙද්දක්! කොට්න් නේද?
මගුල් ගෙදරකටද?
කාමරේ අනිත් දෙන්නා කිව්වා
සුමාලි හිනාවුනා විතරයි.
කුමාරි අක්කා හිනාවෙවී අතීත කථාවම කිව්වා
මේ ඔසරියයි, හැට්ට රෙද්දයි දෙකම වෙනම බෑග් එකකර දාමු
අතේම ගෙනිච්චේ නැත්තං පොඩි වෙයි.
අනේ අපට ඇඳලා පෙන්නන්නකෝ
කරදරේ වැඩිකමට සුමාලි කැමති උනා

තුන්දෙනාම එකතු වෙලා සුමාලිට ඇන්දෙව්වා. සුමාලි අන්තිමේදී කන්නාඩියෙන් බැලුවා. අඩි උස සපත්තු දාලා ඇවිද්දා. එයාට කන්නාඩිය ඇල්ලුවේ කුමාරි අක්කා. සුමාලිට මම අවුරුදු කුමාරි තමා කියලා හිතෙන තරමටම එයාවම කන්නාඩියෙන් පෙනුනා.
බිංදු අක්කා හරි, ඇඳුමයි , මේක් අප් තමා කැපිලා පේන්නේ, අනික සුමාලිගේ ඇඟත් හැඩයිනේ, පහුගිය මාස තුනේම සුමාලි රූප ලාවන්‍ය කලා, තරුණි පත්තර ඔක්කම කියව කියව සියලු දේම කළා. පැය ගනන් හඳුන් ගාගන හිටියා, කොමාරිකා කෑවා, සමන් පිච්ව චතුර බීවා, ව්‍යායාම කලා, දිනන්නම තමා එයාට ඕනෑ උනේ.

පහුවදා උදේම නැගිට්ට සුමාලි ගෙදර යන්න පිටත් උනා, බස් එක ගමට ලඟාවෙනකන් එයා දැක්කේ අවුරුදු කුමාරි හීනේ. බස් එකෙන් බහින කොට හචස තුනයි. වෙල අයිනේ ගුරු පාර දිගේ සුමාලි ඇවිදගෙන ගියා. අතරමගදි හමුවුනේ කිරි අම්මා. ඒ කිව්වේ පුංචිකාලේ එයාලව හදපු අත්තම්මා කෙනෙක්.







ගමේ ළමයිම හදලා වයසට ගිය අත්තම්මා කෙනෙක්. එයාට හැමෝම කිව්වේ කිරි අම්මා කියලා. බැඳලා නැති උනාට පුතෙකුත් හිටියා. එයා කොහොම ලැබුණද කියලා කවුරුත් දන්නෑ, මිනිස්සු කිව්වේ ඒත් හදාගත්ත දරුවෙක් කියලා. ලඟටම එනකන් කිරි අම්මා සුමාලිව ඇඳිනුවේ නෑ.

කිරි අම්මේ මං සුමාලි
මට දැන් ඇහැ පෙනෙනවා අඩුයි දුවේ
ඒ උනාට හිනාවෙන් මං හිච්චි මැණිකේ ඇඳිරුවා
අවුරුදු හොඳද කිරි අම්මේ
අනේ දුවේ උඹ දන්නේ නැද්ද?
ඇයි කිරි අම්මේ, සුමාලි ටිකක් කලබලෙන්
අනේ දුවේ අලියා ගහලා අපේ කොලුවා නැති උනානේ
මේ පාර කුඹුරු වැඩ කලෙත් නෑ
කන්නේ බොන්නෙත් අමාරුවෙන්
මං විතරයි ගෙදර, ලේලිත් මහ ගෙදර ගියා
අනේ මගේ කොල‍්ලා හිටියනම් මට මෙහෙම වෙන්නෑ....

කිරිඅම්මා පාත්වෙලා කිලිටි රෙද්දෙන් කඳුලු පිහදාගත්තා. සුමාලිට කිරි අම්මා එයාට කථා කියනවා මැවිලා පෙනුනා.
ඕන් දුවේ එහෙම තමා ගැමුණු කුමාරයා කොත්මලේ කලු මැණිකේට ආදරේ උනේ, පස්සේ ඉතින් අක්කයි නංගියි දෙන්නම කැන්දන් ගියා බිසෝ මාලිගාවට, ඉතින් කිරි අම්මේ ඒ දෙන්නගෙන් අග බිසව උනේ කවුද? නංගි අග බිසව කරගන්නේ නෑ නේද?
ඕං පැහිච්ච කථා කියනවා, මං කොහොමද දන්නේ ඒක.
කිරිඅම්මා සුමාලිගේ ඔළුව අතගාලා හිනා උනා

සුමාලිට ආයේ පියවි ලෝකයට එනකොට, කඳුලු පිහදාපු කිරිඅම්මා එයා ඉස්සරහ හිටගන ඉන්නවා.
ඊට පස්සේ
මං යඤ්ඤං දුවේ කියලා උනදෑ යන්න ගියා.
සුමාලි ගල් ගැහිලා බලාගෙන හිටියා
කිරි අම්මේ ඔහොම චූට්ටක් ඉන්න
කිරි අම්මා හැරුණා
සුමාලි එයා ලඟට ගියා
කිරි අම්මේ මේක ගන්න

අවුරුදු කුමාරි තරඟෙට පරිස්සමෙන් ගෙනාපු හැට්ට රෙද්දයි, ඔසරි රෙද්දයි කිරිඅම්මාට දුන්නා. පර්ස් එක ඇරලා බිංදු අක්කට දෙන්න තියාගත්ත සල්ලි කවරෙත් ගත්තා, ඒකත් දුන්නා, බිමට නැමි‍ලා දණ ගහලා වැන්දා,
මගේ හිච්චි මැණිකෙට තුණුරුවන්ගේ සරණයි, තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි, ආරස්සාවයි, යන ගමන, එන ගමන කරන කියන රැකියාවල් … කිරි අම්මා නොනවත්වා පිං දෙනවා.
සුමාලි නැගිට්ටා
කිරි අම්මේ මං ගිහින් එන්නම්
උඹ අවුරුදු කුමාරියක් වගේ දුවේ
කිරි අම්මා අවුරුදු කුමාරි ඇඳුම් අරගන යන්න ගියා.
සුමාලි ඇත්තටම අවුරුදු කුමාරියක් වගේ සැහැල්ලුවෙන් ගෙදර ගියා.
එච්චරයි!






රචනය නිරංජන් මීගම්මන


පසුවදන
කෙටි අවුරුදු ටෙලියකට කතා වස්තුවක් ඕනෑ වුනා ශක්තිට, දුශ්‍යන්තට “කරළිය” ගීතය ලීවේ එයයි. මම කලින් ලියපු දියකුමාරි කථාවට එයා වශී උනා, ඒක දෙසැම්බර් තිබුණානම් කි‍යලා කියවුනා. ඒක තිබ්බා ඒත් අපි යාලුවෝ වෙලා හිටියේ නෑ, එයා කිව්වා මට වෙනස් අවුරුදු කථාවක් ඕනේ කියලා, කැවුම් කොකිස් නැති අවුරුදු කථාවක් මට ඕනේ කියලා එයා දුන්න අභියෝගය. ඒක පහසු උනේ නැහැ, මම හිතාගත්තා පරණ අවුරුදු ලබන්න කලින් කතාව ඉවර කරන්න, පටන්ගත්තා නමක් දාලා “අවුරුදු කුමාරි” කියලා, මට ඕනේ උනේ ගාමන්ට් එන ගමේ කෙල්ලක් ගැන ලියන්න. ඉතිරි චරිත, විෂුවල් මැවුනේ පස්සේ,
නිර්මාණ ඔහොම තමයි.

7 Mar 2008

අබා වියුණේ නිර්මාණ පසුබිමට පසුවදනක්

චිත්‍රුටියක් හැදෙන්නේ අධ්‍යක්‍ෂකගේ හිතේ ඇතිවබ රූප සහ හැඩතල අනුව. තිරපිටපතේ තියෙන්නේ දෙබස් පමණයි. අධ්‍යක්‍ෂක තමා චිත්‍රපටියේ සිදුවීම්වල රූපමය ස්වභාවයත්, එයට පණදෙන නලු නිලි කැලත්, ශිල්පීන්ද ගීත ආදිය දකින්නේ. ඒක තියෙන්නේ ඔහුගේ හිතේ. චිත්‍රපටිය හදන්නට එකතුවන අන් සැමදෙනකුම අධ්‍යක්‍ෂකට පිටින් යන්න බෑ. චිත්‍රුපටියේ සාර්ථක උනොත් හැමෝටම ලකුණු සහ සම්මාන. අසාර්ථක චිත්‍රපටියක බර බාරගන්න ඉන්නේ අධ්‍යක්‍ෂක විතරයි. ,මේ නිසා අධ්‍යක්‍ෂකවරයාට තමා චිත්‍රපටියක නියම බර දැනෙන්නේ.

එම නිසා වෙනත් කණ්ඩායම් වැඩව‍‍දී මෙන් නොව චිත්‍රුපටියකදී අධ්‍යක්‍ෂකවරයා තමයි නිර්මාණයේ ප්‍රධාන තීරණ ගන්නේ. මෙය චිත්‍රපටියේ නළු නිලියන් තෝරාගැනීම, චරිත ස්වභාව, වේශ නිරූපන, කලා අධ්‍යක්‍ෂණය, කැමරා කෝණ, සංගීතය , හඬ කැවීම, පෙර පටිය ආදී සෑම දේකම මුල , මැද සහ අග අධ්‍යක්‍ෂකවරයාගේ අණ අනුව තමා වෙන්නේ.

චිත්‍රපටියක වෙබ් අඩවියද නව ලෝකයේ ප්‍රධාන කාර්යයක් ඉටු කරනවා. චිත්‍රපටිය ජනතාවට ලැබෙන තුරු එහි රූපමය හැඩය, වින්දනයේ හැඟීම් ලබාදෙන්නේ වෙබ් අඩවියයි. එහිදී අධ්‍යක්‍ෂකවරයාගේ අවශ්‍යතාවය හා චිත්‍රපටයේ හැඩය අනුව මූලික නිර්මාණයක් කෙරෙනවා. සමහරවිට එය කිහිප වරක් හැදෙනවා. වෙබ් අඩවිය නිර්මාණකරුවා අධ්‍යක්‍ෂකවරයාගේ ලබාදෙන චායාරූප හා විස්තර කිරිම් වලින් ඔහුගේ හිතේ ඇඳුනු චිත්‍රපටියේ රූපය මතුකරන්නට උත්සාහ ගන්නවා. ඒ උත්සාහයේ සාර්ථකත්වය තමා වියුණ නිර්මාණයට අධ්‍යක්‍ෂකවරයා කැමති වීම.

මෙතුවක් ලංකාවේ වූ නිර්මාණ වල කථා වස්තුව හොඳ උනාට සම්මාන දිනුවාට ලෝකයේ අනිකුත් රටවල වෙළඳපලට ලඟාවී නෑ. චිත්‍රපටියකට වියදම් කරන මුදල නිශ්පාදකවරයාට ලබාදීමත් අධ්‍යක්‍ෂකවරයෙකුගේ වගකීමක්. හුඟක් අධ්‍යක්‍ෂක වරු දෙවන චිත්‍රුටියක් එකම නිශ්පාදකවරයා සමග නොකරන්නේ මේ හේතවද කියන්න බෑ. සාර්ථක අධ්‍යක්‍ෂකවරු අවසානය නිශ්පාදකවත් දිනවනවා. දිගටම චිත්‍රපටි කරනවා.

"අද අපේ ජන සමාජය වීරත්වයෙන් පිරිහිණු අසුභවාදී, සෘණ මාණසිකත්වයකට ඇද වැටෙමින් තිබෙනවා යයි කියැවෙන මතවාදයට වර්තමාන සිනමාව වග කිව යුතුය. ඛේදනීය සමාජ මනෝභාවයන් අතරට එකතුවන වීරත්වය, සුභවාදය, අභිමානය, මාමකත්වය, වාත්සල්‍යය ආදී ධනාත්මක තේමාවන් කැඳවීම සිංහල නව සම්ප්‍රදායක ආරම්භයයි."
ජැක්සන් ඇන්තනි

මේ සන්දර්භය තුල තමා අද චිත්‍රපටි නිර්මාණයක් කරන්නේ. ලංකාවේ ප්‍රේක්‍ෂකයින් බලන චිතපටි හුඟක් හින්දි, දෙමළ සහ ඉංග්‍රීසි. ඒ කතා හොඳ හින්දාම නොවේ. තාක්‍ෂණයේ රසය. ද මැට්රික්ස්, ලෝඩ් ඔෆ් ද රින්ග්, ස්ටාර් වෝර්ස්, අශෝක, 300 ස්පාටන්ස් මේ ඔක්කෝම මායාමය ලක්‍ෂණ සහිත චිත්‍රුපටි. ඇයි මිනිස්සු ඒවා බලන්නේ ? ඒවා සාර්ථක වෙන්නේ ඇයි? ඊට පිළිතුරක් දෙනවාට වඩා ලෝක චිත්‍රපටි කර්මාන්තයේ වාණිජ හැඩය ඒකයි.

මේ අනුව නොයන සම්මාන ගන්න චිත්‍රපටිද තියනවා. ඒවාට වියදම ටිකයි, ආදායමද ටිකයි. මේ සියල්ල කැටිකර සිතුවිට මිලියන සියයක වියමින් කෙරෙන අබා චිත්‍රපටියට ජාත්‍යන්තර වෙළඳ පළට යන ප්‍රථම චිත්‍රපටිය වෙන්නත් පුලුවන්. ඒ නිසා සැම කාරියකම ජාතෘන්තර අනුරුව ජැක්සන් ඇන්තනි අතින් මැවෙනවා. අබා - පණ්ඩුකාබය කුමාරයා ගැනයි. ඒක අපි හැමෝම දන්න කතාවක්. එත් ජැක්සන් ඊට රූපමය හැඩයක් දෙනවා. www.aba.lk අඩවිය හැදෙන්නේත් ඒ හැඩයට.

අධ්‍යක්‍ෂකගේ සිතුම් පැතුම් අප එහි ප්‍රතිනිර්මාණය කළා. ඔහු ඊට කැමති උනා. ලෝන්ච්කල දිනයේදී මාධ්‍ය වේදීන් එය අගය කළා. ළමා ළපටි තරුණ මහලු හැමෝම නරඹන චිත්‍රපටියක් වීමට අබාට උපරිම සුදුසුකම් තියනවා. මේ චිත්‍රපටිය ලෝක සම්මාන වලට පාත්‍රවන අතරම වාණිජ අතින්ද අති සාර්ථක වන්නේ සියලුම ලාංකිකයින් එය බලනු ඇති බව සිතීමෙනි.

කුමන තාක්‍ෂණ හා රූපමය ලක්‍ෂණ තිබුනද අබා අපේ කතාවයි.
තවම චිත්‍රපටිය නොදැක්කද මට හිතෙන්නේ එහෙමයි.

6 Mar 2008

www.aba.lk අබා වියුණ හැදුනු විදිය

http://www.aba.lk/ අබා වියුණ හැදුනු විදිය

ජැක්සන් ඇන්තනිගෙන් දුරකථන ඇමතුමක්. "නිරංජන් මල්ලි අනිද්දා මගේ ෆිල්ම් එකේ මුහුරත් එක, පොඩ්ඩක් ඇවිත් යනවාද ?"
හරි අයියා මම එන්නම්.

ඊට පස්සේ මම හිතන්න ගත්තා මොකද්ද ජැක්සන් ඇන්තමි කරන්න යන වැඩේ කියලා. කොහොම උනත් ජැක්සන් අයියට උදව්වක් කරන්නම ඕනේ. මම එයාගේ රසිකයෙක්නේ. ඒ හිතවත් කම ඇතිවුනේ 1997 TOYP සම්මාන උලෙළේදී , එයාට සංස්කෘතියට, සණත් ජයසූරියට ක්‍රීඩාවට, මට සිංහල තාක්‍ෂණ සංවර්වර්ධනයට (ලංකාදීප හා වීරකේසරී අන්තර්ජාල ගත කිරීම)

ඊට පස්සේ ජැක්සන් අයියාගෙයි , කුමාරි අක්කගෙයි වෙරළු මල් ප්‍රසංගයට අපි වෙබ් පිටුවක් හදා දුන්නා. හැම තැනකම හමුවුන වෙලාවකදී ජැක්සන් අයියා කිව්වේ "මට ඔයාගෙන් වැඩක් ගන්න තියනවා" කියලා. ඒක මොකද්ද කියලා මම ඇහුවේ නෑ, අපි දන්නේ වෙබ් කියලා එයා දන්නචා.

රාළ එක්ක වොටර්ස් එජ් එකට මම ගිහින් බහින කොටම මට ෆිල්ම් එක හිට් උනා, ඒ එදා සරසලා තිබුන හැටි දකින කොටමයි. මම පොටෝ ටිකක් අරහන ආවා. ඊට පස්සේ මම මේ තමා ලිපිය ලීවේ
http://www.queen.lk/?p=5

ජැක්සන් අයියා දවසක් මට කිව්වා ආයෙත් එන්න කියලා,මේ පාර වෙබ් හදන්න නොවේ අබාගේ සෙට් ඩිසයින් එක මාධ්‍යට පෙන්වන දා. සෙට් එකේ සේයාරූප මගේ කැමරාවේ ආයෙත් සඳහන් උනා. මම පුංචි කතාවකුත් ලිව්වා.

http://www.queen.lk/index.php?p=25&more=1&c=1

රාජාංගනය හරිම ලස්සන ගමක්.



ඔය අතරේ මම ඉන්දියාවේ ගියා, ආයේ ආවේ මාස එක හමාරකට පස්සේ, ජැක්සන් අයියා එතකොට රූගත කිරීම් සෑහෙන්ඩ අවසාන කරලා. මම කථාකලා,ජැක්සන් අයියා මම ආවා!ඕ මල්ලි ආවද ?ඔව් අයියා අපිට ඉන්දියාවේදී සම්මානයකුත් හම්බු උනාඔව් ඔව් ඔව් මට දුකා කිව්වා, හරි සතුටුයි මල්ලි. අපි තමයි මේවා කරන්න ඉන්නේ

ඊට පස්සේ මම ජැකසන් අයියාව හමුවුනා,අයයේ මේක කොහොමද වෙන්න ඕනේ?"මල්ලි මට අබා විකුන්න ඕනේ ජාත්‍යන්තරයට, මේක ලෝඩ් ඔෆ් ද රින්ග් හැරී පොටර් වගේ මට්ටමකට හැදෙන්න ඕනේ" එයානේ ඩිරෙක්ටර් එයා විස්තර ගොඩක් කිව්වා.

මම උත්සාහ කළේ එයාගේ හිතේ තියන රූපය තේරුම් ගන්න. අපි දෙතන් පාරක් හමුවුනා. චූලා වෙබ් එකේ වැඩ ටික කලා. මම හැසිරෙව්වා, ජැකසන් අයියා මාව වෙබ් අධ්‍යක්‍ෂක කෙනෙක් කළා.

ඊට පස්සේ වෙබ් අඩවිය බෙලගමගේ මහත්මයාට පෙන්වූවා, අබා කියන්නේ ජාතික කර්තව්‍යයක්, ඒකට දායක වීමත් සතුටක්, මේ විදියට වෙබ් එක කැඩි කැඩි හැදි හැදි ගියා, අන්තිමේට ඊයේ ලෝන්ච් උනා! මාත් හෙඩ් ටේබල් එකේ ජෑක්සන් අයියාගේ කංඩායමේ අය සමග, කපුටා කට්ටියම ඇචිත්.

අන්තිමේදී ජෑක්සන් අයියා කිව්වා

"මල්ලී ෆිල්ම් එක වගේම වෙබ් එකත් හිට් වෙයි කියලා"
http://www.aba.lk/

අබා පණිවිඩය දෙන්න මේ ඇති කියන එක තමා ජැක්සන් අයියා හිතුවේ.

ඔහුගේ හිතේ ඇඳුන දේ නිර්මාණය කරගන්න පුලුවන් වීම හින්දා
බැණුම් අහන්න වෙනනේ නැතිවීම ගැන මට දැනුනේ සතුටක්.

චිත්‍රපටියක වෙබ් අඩවියකට වඩා සිනමා ඉතිහාසයේ සළකුණක් තබන මොහොතකදී
එහි අන්තර්ජාල සලකුණ තැබීම තමා කපුටා ටීම් එකට තියන සතුට.

4 Mar 2008

උඹ විතරයි දන්නේ ඔන්න


අහස කඩාගෙන වැටෙද්දි
පොළව පැලී ගිනි ගනිද්දි
වැව කැඩිලා ජලේ එද්දි
උඹ විතරයි හිටියේ ඔන්න
උඹ විතරයි හිටියේ ඔන්න
පුංචි සින්දුවක් කියන්න
පුංචි සින්දුවක් කියන්න

හීන් හඬින් මට ඇහෙනා
කවි මුතුවැල් සිත් බඳිනා
සිතට සතුට නුඹ ගේනා
උඹ විතරයි දන්නේ ඔන්න
උඹ විතරයි දන්නේ ඔන්න
කඳුළු නැතිව ඉකි බිඳින්න
කඳුළු නැතිව ඉකි බිඳින්න

රන් කුරහන පාලුවෙලා
වට්ටක්කා මල් හැලිලා
දඬුවැට වේයෝ කාලා
හේන අපේ අත හැරිලා
දැන්වත් බින්දක් හිතන්න
දැන්වත් බින්දක් හිතන්න
සෝලි නැතිව ගෙදර එන්න

ගීත රචනය නිරංජන් මීගම්මන
creative commons 3.0

2 Mar 2008

තණමල්විල අහිංසකයි !

තණමල්වි‍ල ප්‍රජාව හඳුනාගැනීම

තණමල්විල තිබෙන්නේ ආදී බින්තැන්න ප්‍රදේශයේ. එය හපුතලේ කඳුව‍ලටත්, වලවේ ගඟටත්, වැල්ලවාය යාල ආශ්‍රිත කැලෑබවටත් මායිම පිහිටි ඉතාම දුප්පත් ප්‍රදේශයක්. තණමල්විල පාදේශීය ලේකම් කොට්ඨාශය කණ්ඩියපිට වැච ඉතාම සුන්දර අහිංසක ගමක්. අප කණ්ඩායම මුලින්ම එහි ගියේ නැණසළ බලන්න. ධාරිතාවෙන් එය ඉතාම පහළ තත්වයක තිබුනේ. ශිල්ප සයුර ව්‍යාපෘතිය ඔවුනට මහඟු අත්වැලක් උනේ හුදකලාව පිහිටීම නිසා. බලන්ගොඩට කි.මී 35 ක් හා තණමල්විල නගරයට කි.මී 40 ක් තිබූ මේ ගම්මානයේ තරම් සුහදශීලිත්යක් අප ගිය දකුණේ සහ උවේ ගම්මාන 29 කින් කොහේවත් දැක්නේ නෑ.

තණමල්විලට වැස්ස එන්නේ කාලෙකට. ඒ කාලෙට වහින වෙලාව කියන්න බෑ. එහාට මෙහාට යන අය අතරමං වෙනවා එන්ඩ බැරිව පාරවල් යටවෙලා. දම්වැල් ඕඩය එහි විදුලිය නැති ගමක්. නන්දා මාලනිය වගේ කටහඬ තියන මදුශිකා දුව අපට හමුවුනේ එහිදි. කවි ඇය විතරක් නොවේ කවි කියා සමස්ථ ලංකා ජයග්‍රහණ ගත් තව අය එහි හිටියා , දම්වැල් ඕඩය කවි කියන ගම්මානයක්.






කණ්ඩියපිට වැව නැණසළේ ළමයි 300 කට වඩා ශිල්ප සයුරෙන් ඉගන ගන්නවා. ඔවුන්ට ගුරුවරුන් නෑ. පරිගණක 20 ක් තියන විද්‍යාගාරයක් තිබුණත් ගුරුවරයෙක් නැති නිසා වසර දෙකක් තිස්සේ වහලා. නැණසළේ පරිගණක හතර කරන සේවය ඉතා ඉහලයි. ඒ ගමේ තරුණ පරපුර හරි දක්‍ෂයි. විශ්ව විද්‍යාලයට යන සහ ගිය අයත් අපට හමුවුනා. අපොස සාමාන්‍ය පෙළ ගණිතයට හා විද්‍යාවට විශිෂ්ඨ සම්මාන ගන්නා ළමයි උසස් පෙළ කරන්නේ කළා විශයන්. ගුරුවරු නැහැ ලඟ පාතක.

ඒත් පුදුමයි ශිල්ප සයුර ප්‍රගතිය හොඳින්ම පෙන්වූ ගමක් තමා කණ්ඩියපිටවැව, ඔවුන් දැන් තණමල්විල නගරයේත් නැණසළකට සහය වෙනවා. ශිල්ප සයුර ක්‍රියාත්මක කරන ස්වේච්චා සමූහය ගමේ තරුණ සමාජය. ඒ අතර ඉන්නවා සමස්ථ ලංකා කෙටිකතා තරඟ දිනන ඒත් තමන්ගේ කෙටිකතා පළ කරගන්නට හයිය නැති මාලා සොයුරිය. ශිල්ප සයුර ඇයට උදව් කරනවා කෙටිකතා පොතක් පළ කරන්න.
ශිල්ප සයුර හොඳින්ම කළ නිසා එහි වාර්ෂික උත්සවයට අප යොදාගත්තේ තණමල්විල, කණ්ඩියපිටවැව ගම. හම්මු අපට දුන් සහය ඉස්තරම්. අපිත් එක්ක එහේ ගිය අය සිංහල යුනිකෝඩ් සමූහය , එතකොට ඒක හරි පුංචියි, කොළඹ විශ්ව විද්‍යාලයේ අය, ICTA, දුක්ගන්නාරාළ, විදුල, ප්‍රසන්ම, තලගල, වැනි මාධ්‍ය වේදීන්. ඒ උත්සවය එක්ක සොකරි නැටුමකුත් තිබුනා. මේ දවස්වල රූපවාහිනියේ රූුන වැඩ සටගනේ "සොකරි" නටන්නේ ඒ කණ්ඩායම. ඔවුන් සංවර්ධනය කරලා රූපවාහිනියට හඳුන්වා දුන්නේ අපි.

තණමල්විල ඉන්න බොහොමය‍ක් අහිංසක කුඹුරු හා හේන් ගොවීන්.
සරුසාරකම තිබුනාට ඵල හොඳ වුනාට ඔවුන්ගේ නිශ්පාදන විකුණා ගැනීමට ක්‍රම නෑ, හුදකලා වීම නිසා. තණමල්විල පාරේ බස් දෙකයි වැඩ කරන්නේ. කැඩුනොත් නෑ. එක් දුක්බර කථාවක් අපිට ඇහුනේ වතුර ගලලා බස් එක නැතිව විභාගෙට යන්න බැරි උන ළ‍මයි ගැන.

තණමල්විල ප්‍රදේශයේ ඉන්න අහිංසක මිනිසුන්ගේ කථා තව ගොඩයි. ඔවුන් සියල්ල නීති විරෝධී වැඩ කරන ජනතාවක් කියා පහත් කොට සළකීමට පෙර ඒ ගම්මාන වලට ගොහින් ආ යුතුයි. අප එහේ ගිහින් ඔවුන්ගහ රතු හාලින්, කෙකටිය දල්ලෙන්, බටු මාලුවෙන් , කැවුම් කිරිබත් වලින් සන්තර්පනය වූ අය, ඔවුන් ගැන කථා කළ යුතුයි.


තණම‍ල්විල නම කියූ පමණින් මිනිසුන් අවතක්සේරුකර නින්දාවට පත් කරන අය අපේ රටේ ඉඳීම කණගාටුවක්. තණමල්විල ඉපදෙන දරුවෙකුට මුදුකාංග සංවර්ධකයකු වන්නට අයිතියක් නැතිද ? ඒ සඳහා එම දරුවා නගරයට ආ යුතුද ? තණමල්විල අහල පහලවත් ජාත්‍යන්තර පාසල් නැති නිසා එහේ ඉන්න තරුණ තරුණියෝ හුගක් ජාත්‍යන්තර පුරුදු වලට ඇබ්බැහි වෙලා නෑ .

මීගමුව දංකොටුවේ නීති විරෝධී මත්පැන් හැදුවට, කොළඹ මත් කුඩු විකුණුනාට, පොළොන්නරුවේ ගල් විහාරයේ ස්ත්‍රී දූශණයක් උනාට ඒ ප්‍රදේශවල මිනිසුන් අප අවතක්සේරු කොට කතා කරනවාද ?
සමහරක් එහෙම හිතනවා. ඒක හරි නෑ.

හරියට වැද්දා අශිෂ්ඨයි සුද්දා ශිෂ්ඨයි කියනව අය වගේ. පෘතුගීසි , ලන්දේසි හා ඉංග්‍රීසින් ආවේ අපිව සුද්ද කරන්න නෙවේ ශිෂ්ඨ කරන්න කියනවා වගේ.

එහෙනම් ලංකාවම අසරණයි.
නොදැන, නොපෙනෙන, නොදැකි, කරන, කියන දේ අසාධාරණයි. මේ සටගන තැබෙන්නේ ජාලයේ නැති තණමල් විල ගොවීන් වෙනුවෙන්, ඔවුන්ගේ දරුවන් වෙනුවෙන්. සහ කරුනු තේරුම් කරගන්න.


නැණසළ දේශපාලන වැඩක් ලෙස පෙනුනත් නගරයේ අය විතරක් භුක්ති විඳින තොරතුරු සවිය ගම්මාන ව‍ලටත් දීලා බුද්ධිමය පරතරය අඩු කරන වැඩක්. රටක සංචර්ධනයට ඒක අවශ්‍යයයි. ඒ සඳහා දේශපාලන නායකත්වයක් තිබීම අත්‍යවශ්‍යයි. රාජ්‍ය නායකත්වය එහි මූලික වීමේ පාඩම ලෝකයට ලැබුනේ ක්‍රොඒශියාවෙන්. කණගාටුවට අපගේ තොරතුරු තාක්‍ෂණ උසස් අධ්‍යාපනයේ ICT4D හා Digital Divide වැනි දැනුම නෑ. යන්තන් O/L ICT වලට ඇතුලත් කර තියනවා.


මවාගැනීමෙන් වැරදි චිත්‍ර මැවෙනවා. බිත්ති හතරකට හිරවෙලා, නිල්ලක් නොදැක, ඇස් දෙක ඉදිමෙනකන් පරිගණක තිර දිහා බලා හිටපු අපි දැන් ගම් වල වැඩක් කරනවා. තණමල්විලට, ගමරාළලාට තියන තරහා නැතිකරගන්න, එන්න යන්න අපත් එක්ක වැඩක් කරන්න.
එතකොටයි වටිනාකම.

මේ ප්‍රශ්න OOP වඩා වෙනස්. ලෝකයේ අවධානය මේ ගැන යොමුවී තිබෙනවා. බලන්න
http://www.i4donline.net/

http://www.gkpeventsonthefuture.org/

මේ තණමල්විල කණ්ඩියපිටවැව වීඩියෝ ටිකක්
http://www.shilpasayura.org/uniportal/news/info.asp?xp=380&xi=416&xl=1&o=0&t=

මේ තණමල්විල ළමයි, කාන්තාවන් සහ ගොවීන්
http://www.shilpasayura.org/uniportal/news/info.asp?xp=380&xi=406&xl=1&o=0&t=

තණමල්විල අහිංසකයි!