2 Jun 2020

Moving Kitty Scratch Example

හැකරුන්, අවභාවිතකයන්, සහ අපචාරකයන් ක්‍රියාත්මකයි

corona වයිරසය  සමඟ අන්තර්ජාල භාවිතය වැඩිවීමත් සමගම හැකරුන්, අවභාවිතකයන්,  සහ අපචාරකයන් අධික ලෙස ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත. 
 
සමහරුන්ගෙන් ඉලක්කය දත්ත සොරා ගැනීමයි. සමහරුන්ට අවශ්‍ය  YouTube  නාලිකා ප්‍රසිද්ධ කර ගැනීමයි. සමහරු විනෝදයට එය කරයි.  සමහරු එන්නේ ළමා අපචාරය ටයි.

ඔවුන්ගේ විශේෂත්වය නිර්නාමික භාවයයි. facebook පිටුව, යූ ටියුබ් චැනලය හෝ වෙබ් අඩවිය කරන්නෙ කවුද යන බව සඟවා ඇත.

ඔවුන් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය පාසල් ළමුන්ය. ඒ මගින් පවුලේ පරිගණක වලට, දුරකථන වලට ඔවුන් ඇතුළු වෙති. ඒ සඳහා pishingn link එවති. නැතහොත් pishingn link අඩංගු PDF ලබාදෙති. සමහර youtube චැනල වල කමෙන්ට් දමා link දමති. පසුගිය දිනවල free data ලබාදීමට ආ බොරු post ඔබට මතක ඇති.

බොහෝ ගුරුවරු පාසැල් වසා ඇති නිසා නොමිලේ ඔන්ලයින් උගන්වන වට්ස්ඇප් සමූහ සාදාගෙන උගන්වති. ඒවා වලට ළමයින් මෙන් පෙනී සිට රිංගීම අපචාරකයන් ගේ අලුත්ම ක්‍රමය වී ඇත. 

මා මෙය ලියන්නේ  6-7 ශ්‍රේණි වල දරුවන්ට  scratch ක්‍රම ලේඛනය උගැන්වීමට සෑදු පුද්ගලික whatsapp ගෲප් එකට +94 71 886 1776 දුරකථන අංකයෙන් රිංගා, EMP නම් ෆේස්බුක් පිටුවක් හා youtube චැනලයක් ජනප්‍රිය කරවීමට එය අවභාවිත කළ නිර්නාමික පුද්ගලයෙකුගේ සිදුවීමක් නිසාය.  

ඔබද දන්නා පරිදි youtube මේ වන විට හොඳ තොරතුරු මෙන්ම සිංහලෙන් ඉතාම අසභ්‍ය දෑ පළ කරන ස්ථානයක් වී ඇත.සමහරු දෙකම කරමින් එකකින් එකකට ට්‍රැෆික් අද්දවා ගනිති. නිර්නාමික මේ පුද්ගලයන්ගෙන් ඔබේ දරුවා ප්‍රවේශම් කරගන්න. නමක් ගමක් සහිතව වගකීමකින් යුතුව අධ්‍යාපන තොරතුරු ලබා දෙන තැන්වලට පමණක් ඔබේ දරුවා යොමු කරන්න. එයත් නියාමනය කරන්න.

ඒ අතරම  අද live උගන්වන webinar එකකට windows  ආසාදනය කළ හැකි script එකක් යමෙක් විසින් අප්ලෝඩ් කලේය.  ඒ අවස්ථාවේ ලොගින් වී සිටී 150 කට අධික සිසුන්ගේ පරිගණක හා ජංගම දුරකථන ආරක්ෂා කර ගැනීමට අපට හැකි වූයේ වහා ක්‍රියාත්මක වී සිසුන් දැනුවත් කළ නිසාය. මේ දෙකම සිදුවන්නේ එකම දවසේය. එනම් අප වැඩසටහන දියත් කළ දිනයේ ය. ඒ සැලසුම් සහගත ප්‍රහාරයක් ලෙස අප සලකමු.

පසුව Digital footprint හා social engineering ක්‍රම භාවිතයෙන් මෙම අපචාරකයන් දෙදෙනාම මේ වන විට අප විසින් හඳුනාගෙන ඇත. ඕනෑම හොරකමක් අසුවෙයි. හැකරුන් ද එසේය. ඔවුන් කොතනක හෝ  digital සලකුණක් ඉතිරි කරති.
ඔවුන්ගේ ඒ අවක්‍රියාවට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමේ පළමු පියවර මේ ලිපියයි. ඉතිරිය ඉදිරියට.

EMP  නැමැත්තා මෙම ක්‍රියාව කලා මෙන්ම එය වැරදියි කියා අප කියූවිට අපට අපහාස කර , අප සමග කළ පුද්ගලික කතාබහ අප්ලෝඩ් කර තවත් දුරට සමූහයේ පිස්සු නැටුවේය. ඒ පැහැදිලිවම තමන් කරන ලද වරද විශාලනය කරමින් අපහාස කිරීමය. ඩිජිටල් මාධ්‍යයෙන් වුව එය සාපරාධි අපහාසයක්  (criminal deformation) සේ සැලකේ. එය ශ්‍රී ලංකාවේ නීතිගත පරිගණක අපරාධයකි. අහෝ කොතරම් අන්ධද? ඒ කිසිවකුත් නොදනී.

නොමිලේ ලබා දෙන සමාජ මාධ්‍ය සේවාවන් හා අන්තර්ජාලයේ අනිහිඛවනීය  නිර්ණාමිකත්වය ප්‍රයෝජනයට ගනිමින් සදාචාර හා නීතිමය විරෝධී කටයුතු වල යෙදෙන්නන්ට විරුද්ධව ක්‍රියා කිරීමට නව නීති අවශ්‍ය වේ. ඒ අපේ ළමුන්, අපගේ අධ්‍යාපනය , අපගේ සදාචාරය ආරක්ෂා කරගැනීම සඳහාය. ඒ සඳහා අප දැඩි සේ කටයුතු කරමු. ඒ යහපත් මිනිසුන්ගේ ඩිජිටල් අයිතිවාසිකම් රැකදීම සඳහා ය.

මේ අනුව ඔඛ හදන WhatsApp private group වලට පිට තොරතුරු දාන්න අවසර නොදෙන්න. 

ළමයි හදන program,  සහ අහන ප්‍රශ්න වලට පිළිතුරු විතරක් අවසර දෙන්න. ඒවා වලට ළමයින් ලෙස පෙනී සිටිමින් අපචාරකයන් ඇතුළුවීමට ඉඩ නොතබන්න. 

එක් එක් ලින්ක්, post දාන අය සහ මැසේජ් කරන අයගෙන් ළමයින්ට පරිස්සම් වන්නට කියාදෙන්න.

ඔවුන් ඔබට virus එවිය හැකි බවත්, පරිගණකයේ හෝ ෆෝන් එකේ දත්ත සොරා ගත හැකි බවත් ළමුන්ට කියා දෙන්න.

ගුරුවරයා ලබා දෙන තොරතුරු හා හා link පමණක් click කිරීමට උපදෙස් දෙන්න.

සමූහයේ සාමාජිකයන් ලෙසින් පෙනී සිටින අපචාරකයන් හඳුනා ගැනීමට විමසිලිමත් වන්න. එවැන්නෙක් හමුවූ පසු ප්‍රසිද්ධියේ ඒ කියන්න. අනිත් අයටත් දැනගන්න. ළමුන් වහාම දැනුවත් කරන්න. අව භාවිතා කරන්නන් සමාවකින් තොරව සමුහයෙන් ඉවත් කරන්න.

බාලවයස් ළමයින්ගේ සමූහයන් කළමනාකරණය කරන අපට එම ගෲප් වලට එකතු වුන ළමුන්ගේ ආරක්ෂාව  වගකීමක් වේ.  දෙමාපියන් ළමුන් අපට බාර දෙන්නේ නිර්නාමිකයන්ගේ  අපචාරයන්ට ලක් වීමට නොවේ. අප ඔවුන්ට ආරක්ෂාකාරී ඩිජිටල් පරිසරයක් ලබාදීමට වගකීමෙන් බැඳී සිටිමු.

පාසල් ලමුන් හා ඔබ දන්නා ගුරුවරුන් කිහිප දෙනෙකුට හැර වෙනත් කිසිවකුට සමූහයට ඇතුලුවීම හෝ පෝස්ට් දැමීම තහනම් බව පලකරන්න.  එමෙන්ම එය ක්‍රියාත්මක කරන්න. නිර්නාමික ෆේස්බුක් පේජ් වල, ගෲප් වල සහ ප්‍රොෆයිල් මඟින් ඔබට ඉදිරිපත් කරන පෝස්ට් අනුමත නොකරන්න.
 
එවැනි අයකුගෙන් පුද්ගලික පණිවිඩයක් හෝ පෝස්ට් එකක් ආව හොත් වහාම පැමිණිලි කරන ලෙස ළමයින්ට උපදෙස් දෙන්න. 

ඔබගේ පරිගණකය සාදා දෙන බව කියා, හැකින් උගන්වන බව කියා,  අවසර අරගෙන, phishing link එකක් ඒවා, ඔබට කියා එහෙ ක්ලික් කර ක්ලික් කර,  පරිගණකය ආසාදනය කර,  අන්තර්ජාලයෙන් එයට ඇතුළු වී දත්ත සොරා ගෙන හෝ මකා දමා හෝ encrypt කර කිසිවෙකුට  ළමුන් කරදරයකට පත් කිරීමට ඉඩ නොතබන්න.

PDF download මගින්ද වයිරස් එවිය හැක. Click bait  PDF සැක කරන්න. Ad fly ඉතාම අනතුරුදායකය. 

අන්තර්ජාලයේදී ඔබ නොදන්නා කිසිවෙකුත් විශ්වාස නොකරන්න. අනන්‍යතාවය නොමැති තොරතුරු, file, ගෲප්, page, පුද්ගලයන් මගහරින්න.

WhatsApp ඉතාම ආනාරක්ෂාකාරී තැනකි. එහි ප්‍රවේශම් වන්නට හා හැසිරෙන්නට ළමුන්ට කියාදෙන්න. 

කොරෝනාව නිසා හතු පිපෙන්නාක් මෙන් බිහිවන නිර්නාමික youtube channel,  පාඩම් සපයන්නන්, e learning සේවා සහ හැකරුන් ගෙන් ළමයින් ආරක්ෂා කරගැනීමට අන්තර්ජාලයේ කාලයක්, කොරෝනාවට පෙර අධ්‍යාපනය ලබා දෙමින් ළමුන්ට හා ගුරුවරුන්ට සේවය සැපයූ නියම ICT ගුරුවරුන් හා වෘත්තිකයන්ට මේ අවස්ථාවේ විශාල වගකීමක් පැවරේ. 
වගකීමක් සහිතව,  සම්මතයක් සහිතව අධ්‍යාපන තොරතුරු ලබාදෙන ගුරුවරුන්  මේ අවස්ථාවේ දැනුවත් වන්න. දෙමාපියන් හා ළමයින් දැනුවත් කරන්න. අපචාර වැළකීමට ඉදිරියට එන්න. 

අපේ ළමුන් අපි ආරක්ෂා කර ගනිමු. අපට එය කළ හැකියි!

#isoc #shilpasayura #esociety #ict

නිරංජන් මීගම්මන.
Shilpa Sayura Foundation
Member Internet Society  
Member Computer Society.of Sri Lanka

3 May 2020

කොරෝනා අර්බුදය ඉදිරියේ ළමුන්ගේ මානසික සෞඛ්‍යය



COVID-19 නිසා  ලෝකයේ 99% ක් ළමුන් නිවසටම සිරවී සිටීමට සිදුවී ඇත. ඉන් 60% ක් අර්ධ හෝ පූර්ණ corona වයිරසයෙන්  lockdown වූ රාජ්‍යය වල වාසය කරති. ඔවුන් බිලියන 1.5 ක් ක් පාසල් නොයති.

ළමුන් වැඩෙන්නේ ඔවුන්ට ආරක්ෂාකාරී පරිසරයකය. ඔවුන්ගේ මූලික අවශ්‍යතා සැපිරී, වැඩිහිටි හා සමාජ සම්බන්ධතා ස්ථාවර හා පෝෂණීය වූ කළ ඔවුන් සතුටින් හොඳින් වැඩෙති.

කොරෝනා වයිරස් වසංගතය හමුවේ ඔවුන්ගේ ජීවිත මහත් පසුබෑමකට ලක්ව ඇත්තේය. එය ඔවුන්ගේ සෞඛ්‍යය,  අධ්‍යාපනය, සංවර්ධනය හා පවුලේ ආර්ථික ස්ථාවරත්වය මෙන්ම සැහැසි කමෙන්, අපචාරයෙන් හා විසමාචාරයෙන් අනාරක්ෂිත කර ඇත.

එය කෙළින්ම ඔවුන්ගේ මානසික සෞඛ්‍යට බලපායි.
කුඩාම ළමුන් මෙහිදී වැඩිම අවදානමක සිටින අතර ඉහළ  මානසික පීඩනය සහ හුදකලාවීම ඔවුන්ගේ මොළය වර්ධනයට දීර්ඝකාලීන ලෙස නැවත පිළිසකර කර ගැනීමට නොහැකිවන පරිදි බාධා කල හැක.

තම පවුලෙන් වෙන්වීම, අසනීප වූ නෑදෑ හිතවතුන් මෙන්ම හදිසි මරණ වලට ලක්වූ ආදරණීයයන්ද , දිනපතා ඇසෙන, දකින භයංකාර තොරතුරුවලින්ද   ඔවුන් මානසික පීඩාවකට පත් කරයි.

මින් වැඩියෙන්ම පීඩා විඳින්නේ ගැහැනු ළමයින්ය. අධික රැකවල්,  හිංසනය, නිවසේ වැඩ හා පරිභව කිරීම් වලටත් වෙනත් අපචාරයන්ටද ඔවුන් ලක්වෙති.  මෙයින් ඔවුන් මහත් කාන්සියකින් පසුවෙති. දෙමව්පියන් වැඩට යාමේදී පෙර ඔවුන් පාසල් ගොස් ආරක්ෂා වූහ.

අත්‍යාවශ්‍ය සේවා යෙදෙන දෙමාපියන් නිවසෙන් බැහැර වීමේ දී පාසල් නොයන නිසා ඔවුන්ට විවිධ ස්ථානවල නැවතීමට සිදුවේ. ඔවුන්ගේ ආරක්ෂාව හා සැලකිල්ල එයින් අවදානමකට ලක්විය හැකිය.

තම දෙමාපියන් පිටරට රැකියා වල නියැලේ නම් හෝ දුරබැහැරක සිරවී නිවසට පැමිනීමට නොහැකිව සිටින්නේ නම්ද ළමුන් මහත් මානසික පීඩාවකට පත්වේ.
තම පාසලෙන්, පංතියෙන්, මිතුරන්ගෙන්, ගුරුවරුන්ගෙන්, අමතර පන්තියෙන්, ක්‍රීඩා පිටියෙන්, දහම් පාසලෙන් වෙන්වී නිවසක ක්‍රියාකාරකම් රහිතව හුදකලාව ගත කිරීම තරම් පීඩාවක් ඔවුනට තවත් නොමැත.

අධ්‍යාපන කටයුතු අතපසු වේ යයි සිතමින් දෙමාපියන් විසින් අමතර හා අධික ලෙස පවරන තනියම පාඩම් කිරීමකට යොමු කිරීමද ඔවුනට පීඩාවකි. දිගින් දිගටම රූපවාහිනියට ලොල් වීම ඔවුන්ගේ මනස ද වෙනතක යවයි.

සමහරු අධික ලෙස පරිගණක හා ජංගම දුරකථන ක්‍රීඩා වලට ඇබ්බැහි වනු දක්නට ඇත. එකම ක්‍රීඩාව තනියම දිගින් දිගටම කිරීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වනවා හා සමානය. ඔවුන් අධික ලෙස කේන්ති ගනිති. දෙමාපියන් හා සහෝදර සහෝදරියන් සමඟ රණ්ඩු කරති.

ඔවුන්ගේ ලෝකය කෙමෙන් ගරා වැටෙන බව ඔවුන් සිතති. වැඩිපුර නිදා ගැනීම, ව්‍යායාම අඩුවීම ඔවුන් අලස වීමට ද  බලපායි.
කොරෝනා වසංගතය විසින් ඇති කරන පවුලේ හා සමාජයේ ආර්ථික පහළ වැටීම ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතාවයන් සපුරාලීම සීමාකරනු ඇත.

අලුත් අවුරුද්ද නැති විණි. වෙසක් ආදී උත්සවද නැතිවී.  පෙරදා මෙන් දෙමාපියන් සමග ගිය ගමන් වලින් මිදී නිවෙසට  සිරවීම හා අධික ආරක්ෂණයකට යොමු කිරීම කොතරම් අභාග්‍යයක්ද? කුඩා ළමුන් මේ වෙනස තේරුම් ගන්නේ කෙසේද? ඔවුන් සිතන්නේ ඔවුන්ව වෙන් කොට, කොන් කර සලකනවා සේය.

ළමුන්ගේ මානසික සෞඛ්‍යය පහත වැටීම සමාජයට වැඩදායී නොවෙයි. ඒ පිළිබඳව දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් රජය තම අවධානය යොමු කළ යුතුය. දෙමාපියන් කොතරම් විවිධ ආර්ථික හා සමාජීය  ගැටලුවලට මුහුණ දුන්නද තම දරුවන්ගේ මානසික සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන යාමට වෙනදාට වඩා පරිස්සමින් හා සැලකිල්ලෙන් විශේෂ අවධානයක් යොමු කිරීමටත්, ඔවුන් හා කාලය ගතකිරීමටත්, නිර්මාණශීලී සාමූහික පවුල් ක්‍රියාකාරකම් වල නියැලීමටත් වගබලා ගත යුතුය.

ළමුන්ගේ ජීවිතය සමාන්‍ය කරණයට, ඔවුන්ට සතුටින් ජීවත් කරවීමට හා අධ්‍යාපනයේ අඛණ්ඩතාවය පවත්වා ගනු පිණිස විශේෂ වැඩසටහන් නිර්මාණය විය යුතුය. අන්තර්ජාලය මේ සඳහා මහත් අත්වැලක් සපයයි. ළමුන් සඳහා සුදුසු අධ්‍යාපන වැඩසටහන්, වෙබ් අඩවි, තරග, දැනුම හුවමාරුව, පාසලේ මිතුරු මිතුරියන් හමුවීමට අවස්ථා e තාක්ෂණයෙන් නව නිර්මාණ බිහිකළ යුතුය. ළමුන් මානසිකව හුදකලා නොවන සේ ක්‍රියාකාරකම් වල යෙදවිය යුතුය.

ළමුන්ට අන්තර්ජාලය භාවිතා කිරීමට ඉඩ සලසා දී දෙමාපියන් ඔවුන් ගැන හොඳ අවධානයකින් සිටිය යුතුය. කිසිසේත් ළමයා තනිවම කාමරයක අන්තර්ජාලය භාවිතා නොකළ යුතුය. ඔහුගේ පරිගණක හෝ ජංගම දුරකතනයේ තිරය ඔබට දිස්විය යුතුය. වඩාත්ම සුදුසු ස්ථානය නිවසේ විසිත්ත කාමරයයි.

මේ අතරම සමාජ මාධ්‍ය තුළ ළමා සිත් දූෂණය කරන, ඔවුන් අපචාරයට පොළඔවන සදාචාර විරෝධී කණ්ඩායමක් ක්‍රියාත්මක ව සිටිනු පෙනේ. පටු අරමුණු සහිතව ජනප්‍රියතාවය ලබාගැනීමට ඔවුන් ක්‍රියාත්මක වන්නේ රටේ ළමා පරපුර විනාශ කිරීම සඳහාය. මෙම පහත් ක්‍රියාකාරකම් ජන මනස වෙනත් දේ සඳහා යොමු කිරීමට සැලසුම්ගත සිද්ධීන් බවටද සැකයක් පවතී.

නොමිලේ ලබාදෙන විවිධ සේවා ලෙස නොදන්නා හෝ දන්නා ආයතන නියෝජනය කරමින් එන offers තුළ ඇති link මගින් ඔබගේ පරිගණකයට වෛරස ඇතුල් කරනු ඇත. දෙමාපියන්ගේ ජංගම දුරකථන හා පරිගණක භාවිතා කරන ළමුන් හා නොදැනුවත් දෙමාපියන් හැකරුන් විසින් ඉලක්ක කරන බව අපට පෙනේ. සමහර යොමු කාම අඩවි සඳහා සෙනග ගෙන්වා ගැනීමට භාවිතා වේ. සමහරක් ඔබේ පරිගණකයේ credit card  හා බැංකු ගිණුම් දත්ත හා ඔබේ අතිශයින් රහසිගත දත්ත හා සන්නිවේදනයන් සොරකම් කිරීමට කටයුතු කරයි. ළමුන්  හා ඔබ නොදැනුවත්වම මේ අවක්‍රියාවේ ගොදුරු බවට පත්වීමට ඉඩ ඇත.

සෑම සමාජ මාධ්‍ය භාවිතා කරන කෙනෙක්ම ලමුන් අපචාරයට ලක් කිරීම, ඔවුන්ගේ සිත් දූෂණය කිරීම හා ළමුන්ට එරෙහි වෙනත් අකටයුතුකම් මගින් ළමුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන අවස්ථාවන් පිළිබඳ අවබෝධයෙන් හා විමසිල්ලෙන් සිටිය යුතුය. එවැනි ග්‍රාහකයින් හා ඔවුන්ගේ අවක්‍රියාවන්ද, ඔවුන් ගැන තොරතුරුද බලධාරීන්ට වාර්තා කිරීම අප විසින් කළ යුතුමය.

කොරෝනා වසංගතයේදී ලමුන්ගෙ සතුට, අභිමානය, සංවර්ධනය,  ආරක්ෂාව, මානව අයිතිවාසිකම් හා අභියෝගයන්ට මුහුණදීමේ හැකියාව වර්ධනය අප සැමගේම පොදු වගකීමක් වෙයි. ඒ වෙනුවෙන් එක්ව කටයුතු කරමු. හැමෝම දැනුවත් කරන්න. අන්තර්ජාලය ළමුන්ට හොඳයි. නමුත් ඔබත් අවධානයෙන් සිටින්න.

නිරංජන් මීගම්මන
ශිල්ප සයුර


#esociety #srilanka #covid19

29 Apr 2020

e society එකට පණ දෙන්නට



මිතුරනි,
2006  දී ලංකාවේ සිදුවුන ප්‍රධානතම සංවර්ධනයක් තමා e  Sri Lanka ව්‍යාපෘතිය.  ශිල්ප සයුර පටන් ගත්තේ එහි e society development  initiative තුළින්.  අපි සාර්ථක දිගු  ගමනක් e society තුළින් පැමිණ සිටිනවා. අද Covid-19 බලපෑම නිසා ඉදිරියේ ඇතිවන නව සමාජයට අවශ්‍ය e දැනුම, e ව්‍යාපාර, e අධ්‍යාපනය හා තාක්ෂණය සංවර්ධනයට නැවත වරක්  e society එකට පණ දෙන්නට එහි නිර්මාතෘ දිලන්ත විතානගේ මට ඇරැයුම් කළා.
එය ඉතා සතුටක්. මේ පණිවිඩය ලියන සිංහල යුනිකේත
මේ ගැන විවෘත සංවාදයක් කරන්නට අප සිතනවා.
එකතු වෙන්නට කැමති හැමෝටම මේ ආරාධනාව.
එකතුවෙලා වැඩ කරන්න කැමති අය අදහස් හා යෝජනා comment කරන්න.

#esociety #srilanka #postcovid19 #edevelopment
එකතුවන්න facebook group එකට





21 Apr 2020

දරුවන් සදහා නොමිල් Scratch Programming online පාඨමාලාව.

පාසල් විෂය නිර්දේශයට අනුව Scratch Programming සති 4 කින්.වයස අවුරුදු 12-15 අතර දරුවන්ට නොමිල් online පාඨමාලාව.


අදම ලියාපදිංචි වන්න: https://tinyurl.com/ybjrdp3r


Free online Scratch programming Training according to the school curriculum for school children between 12-15 years of age.

Register now: https://tinyurl.com/ybjrdp3r

17 Apr 2020

 
පාසල් විෂය නිර්දේශයට අනුව Scratch Programming.
සති 4 කින්.
වයස අවුරුදු 12-15 අතර දරුවන්ට. නොමිල් online පාඨමාලාව.
අදම ලියාපදිංචි වන්න: https://tinyurl.com/ybjrdp3r

Free online Scratch programming Training according to the school curriculum for school children between 12-15 years of age. 


Scratch පාසල් ළමුන්ට කේතකරණ ඉගෙනීමට උපකාර වන මෙවලමකි.

Scratch coding tool helps young people to learn computer programming.

5 Apr 2020

කොරෝනාව ඇති කරනලද අධ්‍යාපන අර්බුදයට තාක්‍ෂණයෙන් මුහුණ දීම

නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට ආ අප නවීන තාක්‍ෂණය යොදාගන අධ්‍යාපනය නිදහස් නිදහස් කරගැනීමේ උත්සාහයේ අළුත්ම පියවර අප්‍රේල් 06 වැනිදා අරඹමු. එය අපටද, ගුරුවරුන්ට හා සිසුනටද අලුත්ම අත්දැකීමක් වනු ඇත.

 #NextGen #ISOC #ISOCLK #SholpaSayura #GirlsInTechnology #GiT #ICTTeachersofSriLanka