24 Oct 2007

පෝරුව එපා









එක් සත්‍ය සිද්ධියක් ඇසුරෙන් කරපු නිර්මාණයක්
ප්‍රථම ලිවීම සංස්කරණය කර නැත.

නිරංජන් මීගම්මන


පෝරුව එපා

කුබූ ...
පාන්දර පින්නට තෙමිච්ච ඇටි කුකුලෙක් කෑගැහුවේ මට සුබ උදැසනක් කියනවා වගේ. කොහොමත් මම පාන්දරට ආසයි. දෙවට දිගේ හැමදාම පිපිච්ච මල් පාන්දරට ලස්සනයි. ඒවායේ ලස්සන හැමදාම දැක්කට මං ඒවාවල නම වත් දන්නෑ. දවසක් සුවඳ බැලුවා, ඒ හැටි සුවඳක් නෑ. රෝස මල් ඔච්චර අගේ සුවඳ හින්දද ? කටු හින්දද ? එතකොට පතොක් ඒවා කැතද ? කටුත් තියනවානේ. ඒවත් එක එක විදිය තමා මල් අතරෙත් කුල භේද?

"සුදු නෝනේ අදත් අන්දන්න ගියාද?"
මං හැරිලා බැලුවේ නෑ, ඒ සීලේ බව මං දන්නවා. මං
මෙතනින් යන ගියාම ආපහු එනකන් උන්දෑ බලාගන ඉන්නේ මගේ ආරස්සාවට වගේ.
"ඔව් නැන්දේ" මං ඒපාර ඒ පැත්ත බැලුවා
ඒ අපේ අම්මාගේ වැඩ කරලා දීපු වැඩකාරි.
තාමත් අනුන්ට වැඩ තමන්ට කියලා කසාදයක් වත් කරගන්න බැරි වෙලා, වයස පණහද හැටද කවුරුත් දන්නේ නෑ, ඒ උනාට ඉස්සර හරි හැඩයිලු. ගමේ පුංචි පුංචි කතාත් තියනවා. අම්මා නැතිවෙච්ච දා ඉඳලා විතරක් නෙමේ, ඊට කලින් ඉඳලා මට අම්මා වගේ උන්නේ සීලේ, සීලේ කියලා හැමෝම කියන්නේ. මාත් ඒකම කිව්වා. මගේ විතරක් නෙවේ අපේ පවුලේම තනිකමට හිටියේ සීලේ. පවුල කිව්වට මායි තාත්තයි විතරයි.

"කහට ටිකක් බොන්න ගෙට එනවයි නෝනේ"
සීලේ එහෙම කිව්වට මට දෙන්නම නෙස්ටමෝල්ට් පැකට් එකක් ගෙනත් තියාගන ඉන්නේ.
මං සීලෙගේ තේ එක
බොන්න හරිම ආසයි.
"අපේ පුතාත් ලඟදි එනවා නෝනේ"
සීලේ හැමදාම එහෙම කියනවා, ඒ උනාට ඌ එන්නේ නෑ.
සීලෙගේ පුතා ඉන්නේ රට. ඌ මිකැනික් කෙනෙක්. පුතා කිව්වට පුතාම නෙමේ, නංගිගේ පුතාලු. නංගි නැතිඋනාට
පස්සේ, සීලේ තමා හදාගත්තේ. ඌ මහ කේඳැරියෙක්, පුංචි කාලේ මාත් එක්ක සෙල්ලං කරන කොට මගෙන් කන
ගුටි තරමක්, ඊට පස්සේ බොරුවට අඬන්නේ ඌ නෙමේ මං, ඌ ආයේ සීලෙගෙන් ගුටි කනවා. ඌ තමා මගේ
සහෝදරයා වගේ හිටියේ. ඌත් රට ගියා. ඕනේ වෙලාවක ඌ එනවා මට උදව්වට, ඌ ගියාම ඒකත් නැති උනා.

"සුදු නොනේ අද කොහෙද ඇන්දුවේ"
"අර මාලිනීගේ අක්කාගේ දුව"
"ඒ ළමයාට සෑහෙන වයසයි නේද සුදු නෝනේ"
"ඔව් සීලේ හතලිහක්"
"සුදු නෝනෙටත් දැන් තිහක් නේද ?"
මම හිනා උනා, තේ එක බොන ගමන්
තිහෙන් පස්සේ සීලේ මගේ වයස ගණන් කරන්නේ නෑ.
හැමදාම තිහයි. සීලෙටත් පිස්සු.
"එහෙම හිනාවෙලා කොහොමද?"
"මේ පාර මහත්තයාවත් බඳිනවද නෝනේ?"
"ඔව් සී‍ලේ"
හැමදාම අහන ප්‍රශ්න සහ පිළිතුරු ලැයිස්තුව.
වෙන මොනවා කියන්නද ? වෙලාවකට මල කරදරයක්, බැඳලා නැති හැමෝටම මෙහෙම ඇති. බඳින්නැද්ද ?
කවද්ද බඳින්නේ ? කවුද බඳින්නේ ? ප්‍රශ්න අහලා කෙලවරක් නෑ.

මං තාම බැඳලා නෑ තමයි, ඉතිං මට මොකද ?
මට ප්‍රශ්නයක් නැත්නං මිනිස්සුන්ට මොකද ?
අහන්න දෙයක් නැති හින්දා අහනවා ඇති.
සමහර උන් අහන්නේ හිනා වෙන්න. සිලේ නං අහන්නේ ආසාවට,
සීලේ ආසයි මගේ දරුවෝ හදලා දෙන්න.
මං ආයේ පූංචි කල්පනාවකට වැටුනා.
මං ඇයි බඳින්නේ නැත්තේ කියලා නෙමේ, ඇයි මං බැන්දේ නැත්තේ කියලා, කී දෙනෙක් ආවද ?
මාව බලන්න නෙමේ, මාව බඳින්නම අහගන, උං හැමොටම තිබ්බා පෙරේත බැල්මක්, මං යාලු වෙච්ච කොල්ලො

ගොඩක් මට වැඩිය බාලයි, මට යාලු වෙන්නේ එහෙම උන් නේ, මං මොකද කරන්නේ.
මට පේන්නේ අඩු වයසක්. මං පුංචිනේ. ඉස්කෝලේ යනකොට නං මට කොල්ලෝ පෙන්නන්න බෑ, අපි උන්ට හරියට ලණු දුන්නා. එක කොල්ලෙකුට මං කැමති උනත් ඒක කියාගන්න බැරිඋනා. හැමෝටම වෙනදේ තමා. ආදරේ හිතේ තියනවා, කියාගන්න බැරි හේතුවක් එනවා. ඉතිං නැති වෙනවා.
ආදරේද ආසාවද ? දෙකම නෙමේද ?
"මං යනවා සීලේ"
"සුදු නෝනේ අද හවසත් යනවාද "
දෙවැනි ගමනට අන්දන්න යන්න එපායැ ආයේ. මම ඊයේ දවසටම නිදි නෑ. රුවන්මලී ලස්සන කරන්න මොනතරම්
දේ කළාද? සති දෙකකකට කලින් පේෂල්, සුදු කෙස් කලු කලා, මූනේ වලවල් බදාම දාලා වහන තරම්, කලු පාට
යවන්න බෑනේ. අන්තිමේදී ඇන්දුවාම ලස්සන උනා. පවු. මං මනමාලියෝ අන්දන්න ගත්තේ විනෝදෙට, ඒක දැන් ජීවිතේ වෙලා.

කෙල්ලෙක් ලස්සනටම ඉන්නේ මඟුල් දාට, අන්දලා පෝරුවට නැංගපුවාම සුරංගනා කුමාරියක් වගේ. ජීවිතේ ඒ වගේ තවත් දවසක් එන්නේ නෑ. ඊට පස්සේ මුලු ජීවිතේ පුරාම ඒ දවස මතක් කර කර ඉන්නවා වෙන්න ඇති. මඟුලක වැදගත් මනමාලි, මනමාලයා ලස්සනට හිටියා කියලා කවුරුත් කියන්නේ නැහැ. තියන විච්චූර්ණ ඔක්ලෝම මනමාලිට. ආභරණම කොච්චරද ? මාල හතක්, මුදු, මල් කළඹ, කරාඹු, ලිප්ස්ටික් අරවා මේවා මේකප් දාලා, කොණ්ඩ සැරසිල්ලටම කොච්චර වෙලා ගන්නවාද ? පැනලා ගියොත් ඔය මොකුත් නෑ. මමත් ආසයි පෝරුවකට නගින්න.

පාර දිගේ ආයේ මං එන්න ගත්තා, අපේ ගෙදරට එන දෙවට හරිම ල‍ස්සනයි. දෙපැත්තේ නිල් තණකොළ උඩ පිණිබිංදු පිරිලා, අද ඉර උදාව පරක්කුයි වගේ, යාන්තං එලිය තියෙන්නේ, වැහි කළුවරද ? ඉස්සරහට ඔන්න එනවා අරූ. මල පෙරේතයා.

"සුදු නෝනා පාං ගේන්න ගියාද?" සුගතේ කුඹුරට යන ගමන්, උදේ කඩේ පැත්තේ ඉඳන් එනවානම් ඌ හිතන්නේ පාං ගේන්න ගියා කියලා. ඌට කවුද කියන්නේ මං මනමාලියෝ අන්ඳනවා කියලා.

"ඔව් පාං තිබ්බේ නෑ" "ඔය පාන් කන්ට හොඳ නෑ නෝනා"
"මගේ කොරටුවේ හොඳ බතල තියනවා ගෙනත් දෙන්නද නෝනේ"
ඔය! මනමාලකම පටන්ගත්තා, මම දන්නවනේ.
"බනිස් ගත්තා ඕනේ නෑ" මම ගියා.

ගෙදරට එනකොට ඩිංකි දුවන් ආවා ඇඟේ එල්ලෙන්න තාත්තාත් උදේම නැගිටලා. හැමදාම මම ගියාම ම
නැගිටලා බලාගන ඉන්නේ මං එනකං. ඒ උනාට මම එනකං ඉන්නවා කියලා පෙන්නන්නේ නෑ. ආවද කියලා
බලන්නේත් කන්නාඩියේ උඩින්. මම ගෝරි දානවානේ මොනාහරි කියපු ගමන්. අම්මා නැතිවෙච්ච දා ඉඳලා
තාත්තා ඉන්නේ පුලුවන් හෑම වෙලාවෙම මම දිහා බලාගන. මාත් නැතිවෙයි කියලා එයා බයයි වගේ.
තාත්තා කරන්නේ දවස පුරා ලියන එක. ඒවා පත්තර වලට වඩා යන්නේ කුණු ගොඩට.
තාත්ත කතා කළා වෙනදා වගේ නැතිව.

"අන්න අරයලා කෝල් කලා"
ඒ කිව්වේ සුරංගලාගේ කාටහරි
"කවුද කතා කලේ?"
"සුරංග පුතාගේ අම්මා."
තාත්තා සුරංගට පුතා කියන්නත් පටන් අරන්.
"මොනවද කිව්වේ!"
"එනවා කිච්වේ! "
"කචදද?"
"අද?"
"අද?"
"ඔව් අද"
"අද කොහොමද ? අද මට යන්න තියෙනවා හවස"
"මං කිව්වා උදේ එන්නං කිව්වේ"
නිදාගන ඉවරයි, ඔය එන්නේ මඟුල ගැන කතා කරන්න.
ෂිඃ , මේකප් එකක් දාගන්නත් වෙලාවක් නෑ.

සුරංග මගේ පෙම්වතා. පළවෙනියාත් නෙමෙයි. ඒ උනාට කසාදේ ගැන කතා කරපු පළවෙනියා. මම එයාට තරම්
කාටවත් ආදරේ කරළා නෑ. හමුඋනේ වෙඩිං එකකදි. මම එයාගේ නංගිව අන්ඳන්න එක්කරං යන්න ආවේ එයා.
ආපහු ගෙනත් දාන්තත් ස්වේච්චාවෙන්ම ආවා. ගෙදර එනකොට හොඳටම යාලු වෙලා. හරි විහිලුකාරයි. ප්‍රශ්නේ
තිබුනේ එතකොටත් එයා බැඳලා. වෙන්වෙලා හිටියේ.

ලංකාවෙත් නෙමේ උන්නේ. ස්වීඩන් වල කන්සල්ටන්ට් කෙනෙක්. ගෑණි හිටියේ එන්ග්ලන්ඩ් වල. ඉතිං කොහෙද
කසාදේ කෙරෙන්නේ. ගෑණියි මිනිහයි එකට ඉන්න එපායැ. එදායින් පස්සේ එයා මට කෝල් කරනවා, ලංකාවෙන් ගියේ නංගිගේ වෙඩින් එකට හුඟක් පස්සේ. ඊට පස්සේ අපිට දකින්නැතිව ඉන්න බැරි උනා. එයාගේ ඉල්ලීමක් ආවත්, මම ස්වීඩන් ගියේ නෑ. සිංහල විදියට එකට ඉන්න ඕනේ බැන්දාමයි, බඳින දාට දෙන්න පතිවතත් තියාගන්න එපායැ, ඒක නැතිව පෝරුවට නගින්න හොඳ නෑලු,සිහි නෑතිවෙනවාලු, පරණ කතා, ඒ වුනාට ඇත්තකුත් ඇති.

අපි ටෙලිපෝන් කපනකන් කතාකලා, පස්සේ එයා තමා මට කතාකළේ දිගටම, සමහර දවස්වල අපි පෝන් එකෙන් තුරුලු වෙලා හිටියා එලිවෙනකන්, ඒ තරමට ආදරේ. එයාගේ ඩිවෝස් එක ලැබුනා. අන්තිමේදී අපි බඳින්න හිතුවා. අපි වෙඩින් එක ගැන, හනිමූන් ගැන කොච්චර කතා කරාද ? එයා උඩරට නිලමේ වගේ අඳින්නත් කැමති උනා.

එයා‍ලගේ අම්මලා එන්නේ මඟුල ගැන කතා කරන්න.

"මම එයාලට කෝල් කරලාඑන්න එපා කියන්නද" තාත්තා සාලේ ඉඳන් ඇහුවේ.
"එපා" මම කිව්වේ එන්න එපා කියලා.
"එහෙනම් එන්න කියන්නද "
"එපා" මම කිව්වේ කෝල් කරන්න එපා කියලා.
තාත්තා ඊට එහා කතා කළේ නෑ, මගේ හැටි දන්නවානේ.
මට හරිම මහන්සියි. මම ඇදේ ඇලවුනා
නින්දට වඩා මට තිබුණේ කාන්සිය.
ඇත්තටම මම කැත වෙලාද වයසට?
නෑ මම රූප ලාවන්‍ය විශේෂඥ වරියක්නේ.
ඉක්මනට බඳින එක හොඳයි, ඒක සල්ලි.

සල්කි මොකටද ? හෝල් එක ෆ්‍රී. රුසිරු මුදලාලිෆඟ දුවලා තුන්දෙනාම ඇන්දුවේ මං, කේටරිං ෆ්‍රී වගේ ලැබෙයි, මං

ඒ හැමදෙනාටම වෙඩිං බිස්නස් දීලා තියනවා, හැමදාම අලුත් වෙඩිං එකක් දෙනකොට හැමෝම දෙන කොමිස් මම ගත්තේ නෑ. එයාලා හැමදාම කිව්වේ මගේ වෙඩින් එකට ඔක්කෝම ෆ්‍රී දෙනවා කියලා. අවුරුදු ගාණක් මනමාලියෝ අන්දන මට කොච්චර යාලුවොද? වෙඩින් එකට ඒ ඔක්කෝටම ආරාධනා කරන්න ඕනේ. අරුණි, චාන්දනී, රුවිනි, රංජනී, අනුරාධා, මේරියන් අපෝ මගේ යාලුවෝ, උන් එන්නේ ලමයිත් එක්ක, මන් අන්දපු හැම මනමාලියක්ම මට මැවිලා පෙනුනා, එයාලා ඔක්කෝම පෝරුවල ඉඳගන මම දිහා බලාගෙන හිනා වෙනවා

ශ්‍රීයා තමා මට ඉස්සෙල්ලාම පෙනුණේ, එයාගේ මගුල කෙරුනේ දවස් තුනෙන්, පවූ සල්ලි තිබුණේත් නෑ, මං
සල්ලි ගන්නැතුව ඇන්දුවේ, එයාට දුන්නේ මගේ ලඟ තිබ්බ සාරියක්, මඟුල ඉවරවෙලා සාරිය ගෙනත් දුන්නා මං
සාරිය ආයේ ගත්තේ නෑ, එයාගේ පෝරුව හරි චාම්, ගොක්කොල විතරයි ඒකට යමුනගේ මගුල, ඒකට හැමදේම වෙනම හැදුවා, පත්තු කරපු පිත්තල පහණ අඩි 9 ක්, ඒකට හොඳට වියදම් කරපු මගුලක්, ලස්සන පෝරුව

පෝරුවේ චාරිත්‍ර තමා මගුලක ලොකුම දේ, පෝරුව උඩට නගින්නේ ජීවිතේටම එක පාරයි, අෂ්ඨක කියලා, අත් ඇඟිලි බැඳලා, කෙන්ඩියෙන් වතුර දාලා, සුදු රෙදි අන්දලා, ඒවා අම්මාට දීලා කොච්චට චාරිත්‍රද? මේ හැම දෙයක්ම මනමාලිට තමා.

මගේ පෝරුව කොහොම හදාගන්නද ? චාම්ද? රත්තරන් පාටටද ? ගොක්කොළද ? සාරියේ පාට ලා කහ පාට!
ඒක අනිවාර්යයයි, ඒකට ලස්සන ගොක්කොළ, හංසයෝ දෙන්නයි, මායි සුරංගයි වගේ, ජයමංගල ගාථා කියන
ලමයින්ට ලා රෝස පාට, දෙවැනි මනමාලියන්ටත් ලා රෝස පාට, සුදු මල් කළඹවල් නියමේට මැච්.

අනුන්ගේ වෙඩින් එක වගේද මගේ එක, ඒක ලස්සනම ලස්සන වෙන්න ඕනේ. සාරිය, පෝරුව, චාරිත්‍ර, පහණ,
කේක් එක, සෙටි බැක් එක හැම දෙයක්ම ලස්සනට තිබුනාම හැමෝම හොඳ කියයි.
මම නැගිටලා මූණ හෝදාගන, කන්නාඩිය ලඟ වාඩි උනා.

මම ටිකක් ඇදිලා ගිහිල්ලා වගේ නිදිමරලා. මගේ වෙඩින් එක ඉවරවෙනකන් ආයේ වැඩ භාරගන්න හොඳ නෑ.
මගේ එක කරළා එපායැ අනිත් අයගේ වැඩ කරලා දෙන්න. ඊට පස්සේ මට යාන්තක් නින්ද ගියා, මම හීනෙන් දැක්කා වෙඩින් එක, පෝරුවේ චාරිත්‍ර ඉවර වෙනකන් මම ඇහැරුනේ නෑ. ගෙදරට කාර් එකක් හරවන සද්දෙට මං දැනගත්තා සුරංගලාගේ ගෙදරින් කියලා. අපේ ගෙදරට කාරෙකක් ආවේ සුරංග මගේ ජීවිතේට ආවට පස්සේ.

එතකන් කාර් පාර අයිනේ නවත්තලා මම බැහැලා පයින් ආවේ. මම සාලෙට ගියා.

සුරංගලාගේ අම්මයි තාත්තයි අක්කයි . කෝ සුරංග නෑ.
මට නිකං මොකද්ද හිතුනා. එයාලා චාඩි උනා ආරාධනාත් නැතිව. තාත්තා අහිංසකව හිනා උනා.

"තේ එකක් බොමුද මිස්ට වීරසිංහ"

"දැන් මේ ගෙදරින් බීලා ආවේ"

"එහෙනම් තැඹිලි ගෙඩියක් බොමු"

තාත්තා බයාදුවෙන් වගේ. ගස් යන්නේ එයාද ? තැඹිලි ගස්වල දැන් තැඹිල‍ි නැතිවත් ඇති. මෙයාලට ඩ්‍රිනක්
එකක් දුන්නා නං හරි.

"ඉන්ඩ" මං ඇතුලට ගියා

බීම විදුරු තුණක් අරන් මං ආවා.

තාත්තාගේ මූණ හරි නෑ. එයාලා ඔක්කොම මම දිහා බලාගන ඉන්නවා, මම බීම ඇල්ලුවා.

අන්තිමේදී මමම තාත්තය කතා කලා

"ඇයි"

"මෙයාලා වෙඩින් එකක් ගන්න බෑ කියනවා"

මගේ මුලු ලෝකෙම කැරකෙන්න ගත්තා.

ඊට පස්සේ කතා කලේ සුරංගගේ අම්මා

"අපි මේ මඟුලට විරුද්ධ නෑ ඒ වුනට වෙඩින් එකක් ගන්න බෑ"

"විරුද්ධ නැත්තං ඇයි වෙඩින් එකක් ගන්න බැරි? " මම ඇහුවේ මගේ හිතෙන්මයි.

සුරංගගේ තාත්තා කතා කලේ ඊ ලඟට
"අපි වැදගත් මිනිස්සු, අපේ දරුවෝ ඔක්කොම වෙඩින් අරන් බැන්දේ. සුරංගගේ වෙඩින් එකත් ලොකුවට ගත්තා."

ඊ ලඟට කතා කලේ සුටංගගේ අක්කා

"එයා ඩිවොස් වෙච්ච කෙනෙක් නිසා ආයේ පොරුවට නංගලා වෙඩින් එකක් ගන්න බෑ"

ඊ ලඟට සුරංගගේ අම්මා

"අපේ නෑදෑයෝ අපිට හිනාවෙයි"

මාරුවෙන් මාරුවට එයාලා මට පෝරුව එපා කියලා කිව්වා. මගේ පෝරුවේ හීනය වාහනයක වීදුරුවක් වාගේ කෑලි කෑලි බිඳිලා බිමට ඇදගන වැටුනා.

සුරංගට තියන ආදරේ නිසා මම මොනවාත් කිව්වේ නෑ.

"ඉතිං! පෝරුව එපා" මට මටම කියාගත්තා.


No comments: