15 May 2009

නැණසළ ජාලය රැකගැනීම යනු නැණසළ ක්‍රියාකරුවන් රැකගැනීමය

නැණසළක් ආරම්භ කිරීමට අවශ්‍ය වන්නේ ඉතා සුළු උත්සාහයකි. රජය වෙත කරන ඉල්ලීමක් සැකසීමට ගතවන කාලයට වඩා යමක් එහිදී වැය නොවේ. ඉන් අනතුරුව පහන් දල්වා, බෙර ගසා, ලෝකයම අල්ලට ගෙන කතා පවත්වා ආරම්භ කල නැණසළ කීයක් අද සාර්ථක වී ඇතිද?

සාර්ථක වී ඇති නැණසළ දෙස සිත් යොමා බලන කල අපට වැටහී යන කටුක සත්‍යය කුමක්ද? ඒ නම් ඒවා රැකී ඇත්තේ තම කම්කටොලු පසෙක ලා කැපවීම් කරන තරුණ තරුණියන්ගේ දහදියෙනි.

ඕනෑම ගම්මණ්ඩියක, කඩපිළක, පුදබිමක නැණසළක් විවෘත කිරීමට අවශ්‍ය මුදල් පමණි. ඒත් නැණසළක් ගොඩනැගීම පහසු නොවේ. ඒ සඳහා කැපවුනු මිනිසුන් අවශ්‍ය වේ. අද වැසී තිබෙන නැණසළ පවා වරෙක දිරිමත් යෞවනයකු හෝ යෞවනියකගේ ඳායකත්වයෙන් දිදුලන ඒවා වෙති.





එසේ නම් නැණසළක් වැසෙන්නේ ඇයි ?

සෑම නැණසළක්ම නිරතුරුවම වැසීමේ හෝ දියුණුවීමේ මගක නියැලී සිටිත්. එයට වඩාත්ම බලපාන්නේ එහි නැණසළ ක්‍රියාකරුවන්ය. වැඩිය සිටින්නේ ක්‍රියාකාරිනියන් වුවද කියාකරුවන් යන නාමයෙන් සැමදෙන ඇමතීම ගැන අමනාප නොවන්න.

නැණසළක ස්වේච්චා සේවාවට යෞවනයකු හෝ යෞවනියක එකතු වන්නේ මහත් බලාපොරොත්තු ඇතිවය. යමක් ඉගෙන ගැනීමටත් ඉන් තම දිවිය සාර්ථක කරගැනීම මෙන්ම තම ප්‍රජාවේ දියුණුවට තම හැකියාවන් දායක කිරීමටත් ඔවුන් ඉටාගනිති. බොහෝ මහන්සියෙන් නව දැනුම ලබාගැනීමට දුර ගෙවා පුහුණූ වැඩමුළු වලට යන ඔවුන් එම දැනුම තම ප්‍රජාවට ලබාදෙන්නේ මහත් සතුටකිනි.

කුඩා ළමුන් එකිනෙකා එකතු කරගන්නා ඔවුන් එම ළමුන්ට තාක්‍ෂණික දැනුම දැනුම ලබාදෙන්නේ මහත් ආදරයෙනි. අනාගතයේ ඔවුන් ලොකු මහත්වූ කලෙක නැණසළ නොතිබුනත් තමනට තාක්‍ෂණයේ මුල්පොත කී ආදරණීය සොයුරු සොයුරියන් ඔවුන් අමතක නොකරති. ඒ අපට හෝඩිපොත කියාදුන් ගුරුන් අප අමතක කරන්නේ නැතිසේය.

නැණසළ ක්‍රියාකාරීහු ස්වභාවයෙන්ම යමක් උගත් අය වෙති. අපොස උසස් පෙළ සමත් නොවූ අයකු මට හමුවන්නේ කළාතුරකිනි. බොහෝ දෙන උසස් අධ්‍යාපනයේ නියැලී සිටිති. ඒ සඳහා මුදල් දෙන්නේ දෙමාපියන්ය. හමුදා සහ ඇඟලුම් රැකියා වලට යොමුවන ග්‍රාමීය යෞවන යෞවනියන් අතර නැණසළ ක්‍රියාකාරීහු ස්වේච්චා සේවයකට කැපවන්නේ කුමක් උදෙසාද?

තමන් උපන් රට නැගීමට ඔවුන් සත්‍යයෙන්ම දායකවන්නේ කිසිම දීමනාවකදු නොලබමිනි. සමහරකට දීමනාවක් ලැබෙන මුත් රැකියාවක තිබෙන කිසිදු අයිතිවාසිකමක් ඔවුන් නොපතති. පැය 8 ක සේවය, දින පහක සතිය, අවම වැටුපක්, නිවාඩු, දිරි දීමනා, උත්සව අත්තිකාරම්, නිල ඇඳුම්, විශ්‍රාම වැටුප්, සේවක අර්ථසාධක, භාරකාර අරමුදල්, රක්‍ෂණ, වෛද්‍ය සේවා, ප්‍රවාහන දීමනා තබා පොතක්, පෑනක්, පැන්සලක් තබා අසනීපයකට ඩිස්ප්‍රින් පෙත්තක් හෝ නොඉල්ලන ඔවුන් නැණසළ සමාජ සත්කාරයේ යෙදෙන්නේ නැණසළ ව්‍යාපාරය ගැන තිබෙන ඇල්මෙනි.



නැණසළ ක්‍රියාකාරීන් දහසකට වඩා අප රටේ නැත. එයිනුදු බොහෝ දෙනකු කවුදැයි කියා කවුරුත් දන්නේ නැත. ඔවුන් අතර ජාලයක් නැත. ඔවුන් ගැන සොයා බැලීමට අයෙක් නැත. සමහරු අද එති හෙට අස් වෙති හෝ අනිද්දා අස් කෙරෙති. සමහරු සියලු දුක් දරා රැඳෙති. තම කැපවීමෙන් රට නංවති. අනාගතයට දූ දරුවන් වඩති. ඔවුන්ගේ ගැටළු නම් කවරෙක් දනීද? කවුරුන් ඔවුන් ගැන සොයාද ?

සමහර නැණසළ ක්‍රියාකරුවන් නැණසළ දියුණට උපරිම දායකත්වය දුන්නත් අවම වශයෙන් පුහුණු වැඩසටහනකටවත් යාමට අවසර නැත. මේ ප්‍රශ්නය වඩාත්ම ඇත්තේ කාන්තාවන්ටය. ඒ ඔවුන් සියල්ල ඉවසා දරාසිටීමට පුරුදු නිසාමද? සමහරුන්ට පංතියකට යාමට හෝ ඇඳුමක් සෝදාගැනීමට පවා නිවාඩුවක් නැත. රුපියල් 2000 කට වඩා දීමනාවක් කී දෙනෙකුට ගෙවේද? දසදහස් ගනණින් ලාභ ලබන නැණසළක පවා රුපියල් 6000 කට වඩා කීදෙනකුට ලැබෙත්ද ?

නැණසළ යනු ස්වේච්චා ව්‍යාපාරයකි. එහි සේවක සේවිකාවෝ නැත. හිඳින්නේ කණ්ඩායමක්. කණ්ඩායමකදී සැවෝම නායකයින්ය. සැවොමගේ අදහස් එකසේ වටී. නැණසළ කණ්ඩායකමක උත්සාහයකි. නැණසළ ජාලයක් ගොඩනැගෙන්නේ එවන් කණ්ඩායම් රැසකිනි. කලාප , දිස්ත්‍රික්ක , පළාත් හා ජාතික නැණසළ නායකයන් බිහිවන්නේ එලෙසය. එම ගොඩනැගුම ඉහළ සිට පහලට නොව පහළ සිට ඉහලට ගොඩනැගෙන නායකත්ව ක්‍රියාවලියකි. එය සැම නැණසළ ක්‍රියාකරුවෙකුටම සම අයිතියක් ඇති සහෝදර ජාලයකි.

එවන් ජාලයකදී නැණසළවරුන්ට තිබෙන අයිතිය නම් එකම ජාලයක සන්ධීන් වීමය. ජාලයේ ශක්තිය ඔවුන්ය. එසේ එක්වූ ජාලයක ඔවුන්හට හදි කිරීමට,රැකියාවෙන් ඉවත්කිරීමට, කොන්කිරීමට හෝ ඉවත්කිරීමට කාටත් බැරිය.

බිම වැටී තිබූ නැණසළක් ගොඩ ගෙන ආර්ථික සමුර්දියක් ළගාකරන විට දක්‍ෂ ක්‍රියාකරුවා ඉවත්කර වැඩබැරි ගෝලයකු දමා නැණසළ බිමදමන මිනිසුන්ද, සාර්ථක ලෙස නැණසළක් කිරීම නිසා සම්මානයකට බඳුන් වීමේ ඉරිසියාව නිසා ක්‍රියාකරුවා ඉවත්කර ඇණගන්නා මිනිසුන්ද, හොර බොරු නොකිරීම නිසා ක්‍රියාකරුවන් ඉවත්කරන මිනිසුන්ද, වැටුප් ගෙවා වැඩ අරගෙන ඉවත්ව ගිය පසු අළුත් අය ගන්නා මිනිසුන් හා නැණසළ ක්‍රියාකරුවන්ගේ කැපවීම ගැන නොසිතන නමට පමණක් මිනිසුන් වන අය අතරේ නැණසළ කෙසේ පවතීද?

මේ වසරේ අග නැණසළ වලට තීරණාත්මකය. නැණසළ ජාලයට අරමුදල් හිඟවේ. අන්තර්ජාල පහසුකම් හිඟ වී යා හැකිය. පරිගණක නඩත්තු සේවා හමාර වේ. තාක්‍ෂණ සහය හා පුහුණු හිඟවී යා හැක. ඉතිරිවන්නේ නැණසළ සහ නැණසළ ක්‍රියාකාරීන් පමණය. මේ දුශ්කර සමයකට පෙර දැකීමකි. අප ඊට සූදානම්ද? ශිල්ප සයුර ඒ සඳහා සූදානම්ය. ඒ සඳහා නැණසළ සූදානම් කිරීමද අවශ්‍යය. යමක පැවැත්ම අපහසුය. ඩයිනෝසරයෝ වඳවී ගියෝය. කටුස්සෝ රැකුණහ. අමාරු කාලයකදී පවතින්නේ ශක්තිමත් අයය. කාලයට අනුව වෙනස් වන අයය. වෙනස තම පැවත්ම කරගත් අයය. එසේ නම් අප නැණසළ ලෙස ශක්තිමත් වන්නේ කෙසේද ?

අප දන්නා පරිදි නැණසළ දැනටමත් ශක්තිමත්ය. ඒ මෙතුවක් එය රැකගත් ක්‍රියාකාරීන් නිසාය. ඒ ඇතිද ? අප තරඟකාරීව එකිනෙකා දෙස බැලූ කාලය නිමවේය. සියළු ක්‍රියාකාරීන් එක මගකට පිවිසිය යුතු වන්නේ, කාගේත් පැවත්ම උදෙසාය. අපගේ සම්පත්, දැනුම , හැකියා, සම්බන්ධතා කෙතෙක්ද ? ඒවා එක්රැස් කළහොත් අප කෙතරම් ශක්තිමත්ද ? රටපුරු විසුරුණු තාක්‍ෂණික ජාලයක් අපට හිමිය, එහි ක්‍රියාවලියේ නායකයින් නැණසළ වරුන්ය. එහෙයින් අප කෙතරම් ශක්තිමත්ද ?

එසේනම් නැණසළ රැකගැනීමට රැකගත යුත්තේ නැණසළ ක්‍රියාකරුවන් නොවේද? නැණසළ ක්‍රියාකරුවන් නැති තැනක නැණසළක් ක්‍රියාකරවිය හැකිද ? නැණසළ අයිතිය එය රැකගන්නා අයටම නොවේද? නැණසළකට වන හානිය නැණසළ ක්‍රියාකරුවන්ට වන හානියක්. අප රට මහත් ලෝක ණයක් ගෙන ඇතිකළ මේ ජාලය සාර්ථකත්වයට ගෙන යාම කළ හැක්කේ නැණසළ ක්‍රියාකරුවන්හට මිස අන් අයෙකුට නොවේ.

වීරෝදාර රණවිරුවන් අප රට රැකගනිද්දී ගම දියුණට පත්කළෝ නැණසළ ක්‍රියාකරුවන්ය. ඔවුන් නව චින්තනයකින් හෙබි නව දැක්මක් සහිත අය වෙති. සාමාන්‍ය මිනිසුන් හා නැණසළ ක්‍රියාකරුවන්ගේ අතර වෙනස එයයි. කිසිම නැණසළවරයකුට නැණසළ ජාලය තුල මිස අන්තැනක තැනක් නොලැබේ. ඔවුනට නිසි ඇගයීමක් ලැබෙන්නේ ඒ මගිනි. ඔවුනට සහෝදර ජාලයක් ඇත්තේ නැණසළ තුලය. ඉන් ඉවත් වූවහොත් නැණසළ ක්‍රියාකරුවන්ට අගයක් නැති තරම්ය.

නැණසළ සංකල්පය ලෝකයටම අළුත්ය. එහි ගැටළු තිබුණත්, අප රට නැංවීමට එය දායක වූ අයුරු අපට පෙනේ. නැණසළට අනාගතයක් ඇත. ඒ සඳහා නැණසළ ක්‍රියාකරුවන් ශක්තිමත් විය යුතුය. ඒ උපරිම දැනුම ලබා ගැනීමෙනි. එම් එස් ඔෆිස් වලට එහා තාක්‍ෂණය නැණසළ ක්‍රියාකරුවන්ට අවශ්‍යය. ක්‍රම ලේඛනය, වෙබ් නිර්මාණය, අධි චිත්‍රණ හා ත්‍රිමාණ තාක්‍ෂණය, නිර්මාණ තාක්‍ෂණය, ඉලෙක්ට්‍රොනික්ස්, ප්‍රජා සංවර්ධන මූලධර්ම, ඉහළ කළමණාකරණය, ඉහළ ජාලකරණය, ජංගම තාක්‍ෂණය ආදී දැනුම තවමත් නැණසළට හරිහැටි ලඟාවී නැත. ඒවා ඉගනීමට පහසුකම් සහ සම්පත් අප නැණසළ ජාලය තුළම ඇත. අවශ්‍ය නිසි ලෙස ජාල ගතවීමය. ක්‍රමවේද නිර්මාණය කරගැනීමය.

මේ නිසා නැණසළ රැකගැනීමට රැකගත යුත්තේ නැණසළ ක්‍රියාකරුවන්ය. ඒ ආරක්‍ෂාවට නැණසළ වටකර වැටබැඳීමකින් නොවේ. ක්‍රියාකාරීන් අතර නිදහස් අදහස් සහිත විවෘත මානව ජාලයක් නිර්මාණය කිරීමෙනි. ඒ තුල කිසිවෙකුත් නොපාගා සැමට සම ශක්තියක් ලැබෙන පරිදි දැනුම ලබා දීමෙනි. නව්‍යමය අදහස්වලට දොර හැරීමෙනි. දැනුම හා තාක්‍ෂණය නැණසළට ගලා ඒමට මනසේ දොර කවුළු විවෘත කිරීමෙනි.

නැණසළක් පැවතීම හෝ නොපැවතීම තීරණය කරන සාධක රැසකි. නැණසළක් වැසීයාමට වගකිවයුතුවන්නේ සමහරුන්ගේ අමනෝඥ තීරණයන් මිස එහි ක්‍රියාකරුවන් නොවේ. නැණසළක් වැසෙන විට තවත් නැණසළක් ආරම්භ විය හැක. ඒ භෞතික උපකරණ හා මුදල් යෙදවීමෙනි. කුමන ගැටළු ආවත් ක්‍රියාකරුවන් නැණසළක් අතනොහරිති. ඒ ඔවුනට අවශ්‍ය නිදහස හා ක්‍රියාත්මක බලය දී ඇති විටකය. ඔවුන් නැණසළෙන් ඉවත් කිරීමට කාටවත් අයිතියක් නැත. ඒ නැණසළ ප්‍රජාවට අයිති නිසාය.

පුහුණු නැණසළ ක්‍රියාකරුවකු සංවර්ධනයට අවම වශයෙන් අවුරුදු 02ක් වත් ගතවේ. එය සිදුවන්නේද නිසි පුහුණුවක් ලැබුණොත් පමණය. පරිගණක දැනුම තිබෙන හුඟ දෙනෙකුට නැණසළ බැරිය. අඩුම වශයෙන් සිංහල යුනිකෝඩ් පවා බැරිය. පරිගණක උපාධියක් තිබුණත් නැණසළ ක්‍රියාකරවීම කලාවකි. එය වෙනම වැඩකි. එය අවුරුදු ගණන් කළ හැක්කේ නැණසළ ක්‍රියාකරුවකුටමය. ඔවුන් දුසිම් ගණන් නැතිබව දැනෙන්නේ කෙනෙකු හොයන විටය. නැණසළ කිරීම නළලේ කොටා තියෙන හැකියාවකි. නැණසළ ක්‍රියාකරුවන් අතලොස්සක් වන්නේ ඒ නිසාමය. හැමෝටම නැණසළ කටුව දරාගන්නට හැකියාවක් නැත. ඇණගත් අයට ඉන් ගැලවීමද අපහසුය.
මේ කරුණු සලකා බලන කල නැණසළ ජාලය රැකගැනීම යනු නැණසළ ක්‍රියාකරුවන් රැකගැනීමය. ඔවුන් රැකගැනීම යනු ඔවුන් ශක්තිමත් ජාලයකට එකතු කිරීමය.


මේ වනවිට නැණසළ ජාලයෙන් ඉවත්වූ නැණසළ ක්‍රියාකරුවන් කෙතෙක්ද ? තවත් ඔවුන් නැති කර නොගනිමු. ඔවුන් රැකගන නැණසළ රැකගනිමු. එහෙයින් යම් අයෙකු නැණසළ ක්‍රියාකරුවන් එකතු කරන්නේද හේ නැණසළ රකියි. නැණසළ ක්‍රියාකරුවන් බේද කරන්නේ යම් අයෙකුද හේ නැණසළ වනසයි. එමනිසා නැණසළ රැකගැනීමට ඔබද පෙරට එන්න. නැණසළ ජාලයේ නායකයකු හෝ නායිකාවකු වන්න.

නැණසළ ජාලය රැකගැනීමට නැණසළ ක්‍රියාකරුවන් රැක ගනිමු.

නිරංජන් මීගම්මන
ශිල්ප සයුර ව්‍යාපෘතිය
http://www.shilpasayura.org



http://www.shilpasayura.org

1 comment:

Anonymous said...

සත්‍ය සොයා ගිය ගමනක අන්දැකීමක් බව පෙනේ.

නැණසළ ගැන කවුරුත් සගවන සත්‍ය නැණසළ මෙහෙයවන ඔබ වැන්නකුම ලිවීම පැසසිය යුතුය.

නැණසළ යනු දිරිමත් යෞවනයකු හෝ යෞවනියකගේ ඳායකත්වයෙන් දිදුලන ඒවා වෙති.
බිම වැටී තිබූ නැණසළක් ගොඩ ගෙන ආර්ථික සමෘධියක් ළගාකරන විට දක්‍ෂ ක්‍රියාකරුවා ඉවත්කර වැඩබැරි ගෝලයකු දමා නැණසළ බිමදමන මිනිසුන්ද සිටිති.
සත්‍යයකී.